සියවස් ගණනාවක සිට දැඩි සමාජීය ආන්දෝලනයකට ලක්ව තිබූ පිටසක්වල ජීවීන් මහ පොළොවට පැමිණීම සහ ඔවුන් අප සමඟ ගනුදෙනු කරනවාය යන සැකය සාක්ෂි සහිතවම තවත් අවුළුවාලීමට මෙක්සිකෝව පෙරමුණ ගෙන තිබේ.
ඒ අනුව UFOs ලෙසද හැඳින්වෙන හඳුනා නොගත් විෂම සංසිද්ධි (UAPs) පිළිබඳව මෙක්සිකෝවේ පැවැත්වූ පළමු මහජන කොංග්රස් විභාගයේදී ඉකුත් අඟහරුවාදා "මිනිස් නොවන" ජීවීන්ගේ යැයි කියන කුඩා මමීකෘත නිදර්ශක දෙකක් මෙක්සිකෝවේ විද්‍යාඥයන් පිරිසක් විසින් ඉදිරිපත් කරන ලදී.
මමීකෘත සිරුරු දෙක ප්‍රදර්ශනය කරමින්, මාධ්‍යවේදියකු සහ UFO පර් යේෂකයකු වන ජැමී මවුසාන් සහ අනෙකුත් ප්‍රවීණයන් නියෝජිත මණ්ඩලයට යෝජනා කළේ, මෙක්සිකානු ගුවන් අවකාශයේ ආරක්ෂාව සහතික කිරීමට සහ UAPs හඳුනාගෙන, ඒවා අධ්‍යයනය කිරීමට ඉඩ දෙන ලෙසයි.
හැකිලුණු, විකෘති වූ හිස් සහිත වියැකී ගිය මේ සිරුරු, කුටියේ සිටි අය කලබලයට පත් කළ අතර ඉක්මනින් සමාජ මාධ්‍ය තූළද දැඩි උද්යෝගයක් ඇති කළේය. මෙහිදී කොංග්රස් හමුව ඉදිරියේ "පිටසක්වල ජීවීන්ගේ" සිරුරුවල එක්ස් කිරණ ද පෙන්නුම් කර ඇති අතර විශේෂඥයන් පවසන්නේ එක් සිරුරක ඇතුළත බිත්තර තිබූ බවය.
ඉදිරිපත් කරන ලද සිරුරු මනුෂ්‍ය නොවන නිදර්ශක බව පැහැදිලි බවත්, මමී දෙකේ DNA මිනිසුන්ගේ නොවන බව පර් යේෂකයන්ට ඔප්පු කළ හැකි වන බවත් මවුසාන් වැඩිදුරටත් පැවසීය.
මෙම වසර මුලදී, හිටපු එක්සත් ජනපද බුද්ධි ප්‍රජාවේ නිලධාරියෙක් කඩා වැටුණු පිටසක්වල යානා ප්‍රතිසාධනය කරන රහසිගත රජයේ වැඩසටහනක් ගැන සාක්ෂි දුන්නේය.
වැලි සහිත පේරු වෙරළබඩ කාන්තාරයේ Nazca හි භූගත ගැඹුරේ තිබී හමුවී ඇති මේ වියළී ගිය සිරුරු දෙක ගොඩගත් කාලය 2017 දක්වා දිවෙන අතර එම ප්‍රදේශය යෝධ ප්‍රහේළිකා රෑප සඳහා ලෝ පුරා ප්‍රසිද්ධ වී ඇත.
එම රෑප අහසේ සිට පමණක් දැකිය හැකි අතර බොහෝ අය Nazca රේඛාවන් පැරණි ආදිවාසී ප්‍රජාවන්ට සහ "පිටසක්වල ජීවීන්" අතර සබඳතාවන්ට ආරෝපණය කරයි.
පාලක මොරේනා පක්ෂයේ කොංග්රස් සභික සර්ජියෝ ගුටිරෙස් ලූනා සියලු හඬට, සියලු අදහස්වලට සවන්දීමේ වැදගත්කම අවධාරණය කළ අතර පිටසක්වල ජීවීන් පිළිබඳ ප්රශ්නය සම්බන්ධයෙන් විනිවිද පෙනෙන සංවාදයක් පැවතීම ධනාත්මක බව පැවසීය.