සැප්තෑම්බරය ඇරුඹුණේ පෙර නොවූ විරූ සුළි - කුණාටු සහ ගංවතුර ආපදා ගොන්නක් ලොව පුරා පතුරවමිනි. මේ ආපදා අතරින් වඩාත්ම ව්‍යවසනකාරී වූයේ ඩැනියෙල් සුළි කුණාටුව නිසා ලිබියාවේ හටගත් මහා ගංවතුරයි. මේ ගංවතුර දැඩි වීමට වඩාත් බලපෑවේ නිසි ලෙස නඩත්තු නොකළ ආරක්ෂිත වේලි දෙකක බිඳී යාම බව දැන් වාර්තා වී තිබේ.
මේ ගංවතුරෙන් 20,000ක් පමණ මිය ගොස් සිටිය හැකි බව වාර්තා වුවද එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන අනුව මිය ගිය බව තහවුරුව තිබුණේ 11,000කට වැඩි පිරිසකි. මේ මහා විනාශය කුණාටුවේ බලපෑමෙන් පසු අවසන් වේ යැයි සිතුවද, ලෝක සෞඛ්‍ය බලධාරීන් දැන් අනතුරු අඟවා ඇත්තේ ගංවතුරින් දහස් ගණනක් මිය ගිය ලිබියාවේ ඊසානදිග ප්‍රදේශයේ වැඩිහිටියන් හා ළමුන් දූෂිත ජලයෙන් රෝගාතුර වීම නිසා එරට තුළ “දෙවැනි විනාශකාරී අර්බුදයක්” නිර්මාණය වී ඇති බවටය. මේ සියලු හදිසි පාරිසරික ආපදා සම්බන්ධයෙන් දැන් විය යුතු සේම චෝදනා එල්ල වී ඇත්තේ ලෝක දේශගුණික විපර්යාසය වෙතය. මේ සිදුවීම්වල බරපතළකමට තුඩු දුන් තවත් ප්‍රධාන දායකත්වයක් ලෙස දොස් ලබා ඇත්තේ Human error, හෙවත් මානව ක්‍රියාකාරීත්වයන්ගේ දෝෂ වෙතයි.
UCLA Climate Science සඳහා වූ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ඇලෙක්ස් හෝල් පැවසුවේ පසුගිය වසර 150 තුළ හරිතාගාර වායු විමෝචනය හේතුවෙන් වායුගෝලය තුළ එකතුව ඇති ජල වාෂ්ප ප්‍රමාණය 10% ක් පමණ වැඩි වී ඇති බවයි. මෙ අමතර ජල වාෂ්ප කුණාටු සඳහා අතිරේක ඉන්ධනයක් ලෙස සේවය කරන අතර වඩාත් දැඩි වර්ෂාපතනයක් ඇති කරන්නටත් ලිබියාවේ සිදුවූ ආකාරයේ සිදුවීම් අනාගතයේ වැඩියෙන් ඇතිකිරීමට හේතුවන බවත් හෝල් පැහැදිලි කර තිබේ. ලොව පුරා සිටින විද්‍යාඥයන්ගේ සහයෝගීතාවයක් වන World Weather Attribution (WWA) නව වාර්තාවක් නිකුත් කරමින් සනාථ කළේ ද මධ්‍යධරණී මුහුදේ අධික වර්ෂාපතනය හේතුවෙන් මේ මස මුලදී ඇතිවූ විනාශකාරී මහා ගංවතුර ඇති කරන්නට දේශගුණික විපර්යාසය ප්‍රධාන භූමිකාවක් ඉටු කළ බවය. කෙසේ වෙතත්, මේ වාර්තාව ද දේශගුණික විපර්යාස වෙතම දොස් නොපවරන අතර, සිද්ධියේ බරපතළකම සඳහා දායක වූ තවත් ප්‍රධාන අංගයක් ලෙස පෙන්වා දී ඇත්තේ දෝෂ සහිත මානව ක්‍රියාකාරීත්වයන්ගේ බලපෑමය.