2023 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

ලෙයට ලෙය ඉල්ලන ඊශ්‍රායල - පලස්තීන ගැටුම

 2023 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00 812

2023 ඔක්තෝබර් 7 යුදෙව් ආගමික උත්සව සැමරුම් දිනයේ, හමාස් ප්‍රමුඛ පලස්තීන ජිහාද් සටන්කාමී කණ්ඩායම් ගාසා තීරයේ සිට ඊශ්‍රායලයට පැන මහා පරිමාණ මාරක ප්‍රහාරයක් දියත් කර හැරියේය. එදින අලුයම් කාලයේ ගාසා-ඊශ්‍රායල් බාධකය බිඳ දමා ගාසා දේශසීමා හරස් මාර්ග හරහා ආසන්න ඊශ්‍රායල කෘෂී ජනාවාසවලට ඇතුළු වී සිවිල් ප්‍රජාවන්ට සහ ඊශ්‍රායල හමුදා කඳවුරුවලට ප්‍රහාර කිහිපයක් එල්ල කරමින් 1948 අරාබි-ඊශ්‍රායල් යුද්ධයෙන් පසු ඊශ්‍රායලයේ සීමාවන් තුළ ඇතිවූ පළමු ඍජු ගැටුම ආරම්භ කළේය. සොල්දාදුවන් පෙති ගසා, කාන්තාවන් කෙලෙසා, දරුවන් කපා කොටා පුළුස්සා 1,300 කට වැඩි පිරිසක් මරා දමා හමුදා සෙබළුන් ඇතුළු සිය ගණනක පිරිසක් පැහැරගෙන යාමට මුල් වූ මේ ප්‍රහාරය ඊශ්‍රායලය වෙතින් ලෙයට ලෙය ඉල්ලා දියත් කෙරෙන මහා පලිගැනීමකට මුල පීරිය.

මේ ලිපිය ලියන මොහොත වන විට ඊශ්‍රායල හමුදාව ගාසා තීරය වෙත දින 6ක් පුරා එල්ල කළ ගුවන් සහ රොකට් ප්‍රහාරයන්ට අමතරව ගොඩබිම් ආක්‍රමණයකට පෙළගැසී සිටි අතර දෙපාර්ශ්වයේම පුද්ගලයන් 2500 – 3000කට වැඩි පිරිසක් මේ වන විට මිය ගොස් ඇති බව වාර්තා විය. සොල්දාදුවන් 222 ක් ඇතුළුව අවම වශයෙන් ඊශ්‍රායල ජාතිකයන් 1,300 ක් මිය ගොස් 3,300 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබුණි. ගාසා තීරයේ අවම වශයෙන් පුද්ගලයන් 1,500ක් මිය ගොස් 6,200කට වැඩි පිරිසක් තුවාල ලබා තිබුණි. පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, ගාසා තීරයේ ළමුන් 500 ක් සහ කාන්තාවන් 276 ක් ඇතුළුව මියගිය සංඛ්‍යාව 1,537 දක්වා ඉහළ ගොස් තිබුණි. 6,200කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව අමාත්‍යාංශය පවසයි. වර්ධනය වන යුද අර්බුදය හේතුවෙන් ගාසා තීරයේ 338,000 කට වැඩි පිරිසක් අවතැන් වී ඇත්තේ නිවාස, ආහාර, ජලය මෙන්ම විදුලිය සහ සන්නිවේදන සබඳතා  වැනි මූලික සැපයුම් අවසන් වීම නිසාය. ගාසා තීරයේ එකම බලාගාරයේද ඉන්ධන අවසන්ව අක්‍රීයව ඇත. නමුත් මේ නිල සංඛ්‍යාලේඛනගත ප්‍රමාණය වන අතර සැබෑ හානිය මෙයට වඩා වැඩි විය හැකි බව මාධ්‍ය කියයි. ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මේ වන විට මාධ්‍යවේදීන් තිදෙනකු මිය ගොස් ඇති අතර තවත් දෙදෙනකු වෙඩි වැදී මෙන් ඇති වූ තුවාල හේතුවෙන් මියගිය බව දේශසීමා රහිත වාර්තාකරුවෝ පවසති. එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සියේ කම්කරුවන් 12 දෙනකු පමණ ද ප්‍රහාරවලින් මිය ගොස් තිබුණි.

ලෝක සෞඛ්‍ය සංවිධානය ගාසා තීරයේ මානුෂීය කොරිඩෝවක් ස්ථාපිත කරන ලෙස ඉල්ලා සිටින අතර, කලාපයේ සෞඛ්‍ය පද්ධතිය බිඳවැටීමේ අවදානමක පවතින බවට අනතුරු අඟවා ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ පසුගිය සෙනසුරාදා සිට ගාසා තීරයේ සෞඛ්‍ය සේවයට එල්ල වූ ප්‍රහාර 34 ක් ලේඛනගත කර ඇති බවය. එමඟින් සෞඛ්‍ය සේවකයන් 11 දෙනකු මිය ගොස් 16 දෙනකු තුවාල ලබා ඇති අතර සෞඛ්‍ය මධ්‍යස්ථාන  19 ක් සහ ගිලන් රථ 20කට හානි සිදුවී ඇති බවය.

එම සංවිධානයේ ප්‍රකාශයකට අනුව ප්‍රදේශය සම්පූර්ණයෙන් වැටලීම නිසා මානුෂීය සැපයුම් ලබා දීමටද නොහැකිව ඇත. මේ වන විට ගාසා පිවිසුම් මාර්ග සියල්ලම අවහිරය.  ඊජිප්තුව දෙසින් ඇති රෆා මායිම් මාර්ගය පමණක් දැඩි පාලනයකට යටත්ව දිනකට 400ක පමණ සීමාසහිත ප්‍රමාණයක් මුදාහරිමින් මෙතෙක් ක්‍රියාත්මක වුවද, දැන් පලස්තීනයෙන් පලා යන්නන් හට මේ කුරු බිලියද අහිමිව ඇත්තේ ගාසා තීරයෙන් පලා යන සරණාගතයන් සඳහා ආරක්ෂිත කොරිඩෝවක් පිහිටුවීමේ කිසිදු පියවරක් ගැනීම ඊජිප්තුව ප්‍රතික්ෂේප කර ඇති නිසාය. මේ නිසාම ගාසා පලස්තීනුවන්ට මර උගුලක් බවට පත්ව හමාරය.

අගමැති බෙන්ජමින් නෙතන්යාහු යුදකාලීන එක්සත් කැබිනට්ටුවක් පිහිටුවා හමාස් සංවිධානය "තලා විනාශ කරන" බවට පොරොන්දු වීමෙන් පසුව තමන් ගාසා තීරය එල්ල කරගත් ගොඩබිම් ප්‍රහාරයක් සඳහා සූදානම් වන බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේය. හමාස් සංවිධානය ප්‍රාණ ඇපයට ගත් පුද්ගලයන් 100ත් 150ත් අතර පිරිසක් මුදාහරින තුරු තම “සම්පූර්ණ වැටලීම” ඉවත් නොකරන බව ඊශ්‍රායලය පවසා තිබේ. එමෙන්ම ලොව පුරා සිටින තරුණ ඊශ්‍රායල ජාතිකයන් යුද්ධයට සම්බන්ධ වීමට ඊශ්‍රායලයට ආපසු පැමිණෙමින් සිටිති.

ඊශ්‍රායල් රට තුළ සටනට මේ වනවිට අමෙරිකාවද අතපොවා හමාරය. ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙය නාසි යුදෙව් සංහාරයට සම කළ අතර සිය රට ඊශ්‍රායලය තනි නොකරන බව දැඩිව කීවේය. ඉන්පසු ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ඊශ්‍රායලයට පැමිණියේ නෙතන්යාහු ඇතුළු ප්‍රාදේශීය නායකයන් හමුවීමටය. ඔහු යුදෙව් ආගමික උත්සව දින සමූල ඝාතනයෙන් දිවි ගලවාගත් අය ද හමුවිය. හමාස් ප්‍රහාරයෙන් එක්සත් ජනපද පුරවැසියන් 27 දෙනකු මිය ගිය බව ධවල මන්දිරය ප්‍රකාශ කළේය. කැනේඩියානුවන් දෙදෙනකු මිය ගොස් ඇති අතර තවත් හතර දෙනකු අතුරුදහන් වී ඇති බව වාර්තා වේ. ඒ අනුව ඊශ්‍රායලය තනි නොකරන බව කියමින් මේ වන විට ඇමෙරිකාව   ඊශ්‍රායලය දෙසට යුදෝපකරණ, ගුවන් යානා ප්‍රවාහන නෞකා සහ ප්‍රහාරක ජෙට් යානා යවා ඇත. මෙම ආධාර පැකේජයට නවතම සහ වඩාත්ම දියුණු ලෝකයේ විශාලතම ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන USS Gerald R. Ford සමඟ මිසයිල විනාශ කරන්නන් වන - USS Thomas Hudner, USS Ramage, USS Carney USS Roosevelt සහ USS Normandy ඇතුළත් වේ.  

එක්සත් රාජධානිය "ඊශ්‍රායලයට සහාය වීම සඳහා මුර සංචාර සහ නිරීක්ෂණ ගුවන් යානා සහ රාජකීය නාවික හමුදාවේ නැව් දෙකක් නැගෙනහිර මධ්‍යධරණී මුහුදට යොදවා ඇත.

හමාස් ප්‍රහාරවලින් ප්‍රංශ පුරවැසියන් 13 දෙනෙක් මිය ගියහ. ළමුන් ඇතුළු තවත් 17 දෙනකු අතුරුදන්ව ඇති බව වාර්තා විය. මේ අනුව මෙ පලිගැනීමේ සටනට ප්‍රංශයද පැටලී තිබේ. බ්‍රහස්පතින්දා සවස රෑපවාහිනී දේශනයකදී ඊශ්‍රායලයේ අතුරුදහන් වූ පුරවැසියන් වෙනුවෙන් ප්‍රංශය “හැකි සෑම දෙයක්ම කරන” බවත් "ප්‍රංශය කිසිදා තම දරුවන් අත් නොහරිනු ඇත" යනුවෙනුත් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පැවසීය. 

හමාස් නායකයන් සියලු අරාබි රටවලන් සහ මුස්ලිම් හිතවාදීන් වෙතින් සහාය ඉල්ලා තිබුණි. හමාස් රොකට් ප්‍රහාර අඛණ්ඩව ටෙල් අවීව් වෙත කඩා වදිද්දීම ලෙබනනයේ හිස්බුල්ලාහ් කණ්ඩායමද සටනට අතපොවා තිබුණි. සිරියාව දෙසින් ද ප්‍රහාර ඇරුඹී තිබුණි. "පලස්තීනයට සහ ගාසා තීරයට එරෙහිව යුද අපරාධ දිගටම කරගෙන යාම" යුද්ධයේ නව පෙරමුණක් විවෘත කළ හැකි බවත්, “ඒ ප්‍රතිවිපාක සඳහා ඊශ්‍රායලය වගකිව යුතු බවත්" ඉරානයේ විදේශ ඇමැති හොසේන් අමීර්-අබ්දුල්ලාහියන් අනතුරු අඟවා තිබුණි.

මේ ඉතිහාසගත සටනට මුලපිරෑ හමාස් යනු ඉරානයේ පිටුබලය ලබන ත්‍රස්තවාදීන් ලෙස නම් කරන ලද කණ්ඩායමක් වන අතර එය 2007 සිට ගාසා තීරය පාලනය කරයි. 2021 දී හමාස් සංවිධානයට 30,000 ක හමුදාවක් තිබුණි. දළ වශයෙන් වර්ග සැතපුම් 140ක් තුළ මිලියන 2කට අධික පලස්තීනුවන් ප්‍රමාණයක් පොදි ගැසී වාසය කරන කුඩා බිම් තීරුවක ගොනු වූ ගාසා, පෘථිවියේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රදේශවලින් එකකි. බොහෝ ගාසා වැසියන් 1948 දී ඊශ්‍රායල රාජ්‍ය පිහිටුවීමේදී තම නිවෙස්වලින් බලහත්කාරයෙන් අවතැන් කළ සරණාගතයන් හෝ ඒ සරණාගතයන්ගෙන් පැවත එන්නන්ය. 

2023 වසර ආරම්භයේ සිට ඊශ්‍රායල-පලස්තීන දෙපාර්ශ්වයේම කණ්ඩායම් අතර ප්‍රචණ්ඩකාරී ඇවිලීම් කිහිපයක් ඇති විය. මේ ප්‍රහාරයට පෙර සටන්කාමීන් සහ සිවිල් වැසියන් ඇතුළුව, අවම වශයෙන් පලස්තීනුවන් 247ක් ඊශ්‍රායල හමුදා විසින් මරා දමා තිබූ අතර, ඊශ්‍රායල ජාතිකයන් 32ක් සහ විදේශිකයන් දෙදෙනෙක් පලස්තීන ප්‍රහාරවලින් මිය ගොස් තිබුණි. 2023 දී ඊශ්‍රායලයේ අන්ත දක්ෂිණාංශික ආණ්ඩුව නැවත නැගීටීම ද සිදු විය. එය ඊශ්‍රායලය විසින් අත්පත් කරගත් බටහිර ඉවුරේ ජනාවාස ඉදිකිරීම වේගවත් කර ඇත. ඒ හේතුවෙන්  පලස්තීනුවන් සිය ගණනක් අවතැන් බවට පත්ව සිටිති. ජෙරුසලමේ පූජනීය ස්ථානය වන අල්-අක්සා පල්ලිය ආශ්‍රිත ප්‍රචණ්ඩ හැසිරීම් සහ ඊශ්‍රායල පදිංචිකරුවන්ගේ ප්‍රහාරවල වැඩිවීම හේතුවෙන් දෙපක්ෂය තුළ ආතතීන් තදින් ඇවිල තිබුණි.

පලස්තීන සටන්කාමී කණ්ඩායම් ඔවුන්ගේ ප්‍රහාරය ‘අල්-අක්සා පිටාර (හෝ ගංවතුර)  මෙහෙයුම’ ලෙස නම් කර ඇත්තේ මේ අනුවය. මේ මහා මිනිස් සංහාරයට මුල් වූ ප්‍රහාරයට සම්බන්ධ සන්නද්ධ කණ්ඩායමක් වන අල් කසාම් (Izz ad-Din al-Qassam Brigades) හි අණදෙන නිලධාරී මොහොමඩ් ඩීෆ් ප්‍රහාරයේ පළමු දිනයේ පටිගත කරන ලද පණිවිඩයක කියා සිටියේ, එය "අල්-අක්සා පල්ලිය කෙලෙසීම" සහ ඊශ්‍රායලයන් විසින් මේ වසරේ පලස්තීනුවන් සිය ගණනක් මරා දැමීම සහ තුවාල කිරීම සඳහා ප්‍රතිචාරයක් ලෙස සිදු කළ බවයි. ඊශ්‍රායල හමුදා සිය මෙහෙයූම ‘යකඩ කඩු පහර’ හැටියට නම් කර තිබේ.

හමාස් වෙතින් මෙම ප්‍රහාරය සිදු වුයේ ඉතිහාස ගත දිනයකදීය. ඒ ඊශ්‍රායලයන්ගේ වාර්ෂික සබාත් දින සහ ඔවුන්ගේ ආගමික ග්‍රන්ථය වන ටෝරා කියැවීමේ කාලය අවසන් වූ සිම්චට් ටෝරා නමැති යුදෙව් නිවාඩු දිනයේදීය. මේ දවස හරියටම යෙදී තිබුණේ, 1973 වසරේ  යෝම් කිප්පූර් යුද්ධය ලෙස ප්‍රකට වූ දෙවැනි පලස්තීන-ඊශ්‍රායල මහා ගැටුමේ 50 වැනි සංවත්සරය ගෙවී දිනකට පසුවය. එය හදිසි විස්මිත ප්‍රහාරයකින් ආරම්භ විය. ඒ හමාස් සහ ඊශ්‍රායලය මෑතකදී සැප්තැම්බර් 29 වැනි දින කටාර්, ඊජිප්තුව සහ එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමෙන් සටන් විරාමයක් ගැන ද සාකච්ඡා කර තිබූ පරිසරයකය. සිදුවෙමින් පවතින ගැටුම තුන්වැනි ඉන්ටිෆාඩාවක් හෙවත් ඊශ්‍රායලය අල්ලාගෙන සිටින ප්‍රදේශවල පලස්තීන විරෝධයක් ලෙස ප්‍රවෘත්ති ආයතන මගින් විස්තර කර තිබුණි. කෙසේ වුවද ඊශ්‍රායල-පලස්තීන ගැටුම දින 6ක් ගතවී ගිය තැන පහල වී තිබුණේ බහුපාර්ශ්වීය අතපෙවීම් සහිත ලෝක අර්බුදයක් බවට උඩුදුවන ලකුණුය. 2023 ගාසා සටන මැදපෙරදිග අර්බුදයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරයි. එහි ප්‍රතිවිපාක දැනටමත් දැඩි ලෙස විනාශකාරී වන අතර  මෙ යුද්ධය ඉදිරි වසර ගණනාවකට ගෝලීය දේශපාලනය අමුතුම ආකාරයකට හැඩගස්වනු ඇත.

I සුගත් පී. කුලතුංගආරච්චි

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00