ඊශ්‍රායල් - හමාස් ලෙයට ලෙය සටනේ බිහිසුණුම ඛේදවාචකය වාර්තා වුයේ ඉකුත් සතියේ දරුවන්ද ඇතුළු 500කට වැඩි පිරිසක් බිලිගනිමින් ගාසා තීරයේ ප්‍රධාන රෝහලකට එල්ල වූ ප්‍රහාරයත් සමඟිනි. මේ සිදුවීමට වගකිවයුතු කණ්ඩායම පිළිබඳව නොයෙක් සැක සංකා පැතිර යද්දී මේ යුද්ධය කෙරේ පැවැති ජාත්‍යන්තරයේ ආකල්පය වෙනස් කිරීමට එය දැඩිව බලපෑවේය.
ඊශ්‍රායලය ගාසාව පවරා ගැනීමට මේ සටන යොදාගැනීම, එරට සුමිතුරු ඇමෙරිකාව මෙන්ම ඊශ්‍රායලයේ පාරම්පරික පස මිතුරා වූ ඉරානයද දැඩිව හෙළා දුටුවේය. මෙතෙක් ආධාර ලබාදීමටවත් රෆා බිහිදොරටුව විවර කර දීමට අකමැති වූ ඊජීප්තුව ද ගාසා වෙත මානුෂික ආධාර සඳහා ප්‍රවේශ මාර්ගය විවර කිරීමට තීරණය කළේය. ඒ අතර ගැටුම බටහිර ඉවුර දක්වා ද පැතිර ගියේ ඊශ්‍රායල පදිංචිකරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් පලස්තීනුවන් දුසිම් ගණනක් මිය යාමත් සමඟිනි.
පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, හමාස් විසින් ඊශ්‍රායලයට පෙර නොවූ විරූ, විස්මිත ප්‍රහාරයක් දියත් කළ ඔක්තෝබර් 7දා සිට බටහිර ඉවුරේ ඇතිවූ ප්‍රචණ්ඩකාරීන්ගේ ප්‍රහාරවලින් ළමුන් ඇතුළු අවම වශයෙන් පුද්ගලයන් 61 දෙනකු මරා දමා ඇති අතර 1,250 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. බටහිර ඉවුරේ පදිංචිකරුවන් පවසන්නේ ඊශ්‍රායල හමුදාවේ සහ ආරක්ෂක හමුදාවන්ගේ ප්රචණ්ඩ ප්‍රහාර රුල්ලක් මෙන්ම ප්‍රදේශයේ වෙසෙන ඇස්තමේන්තුගත 700,000ක් වූ ඊශ්‍රායල පදිංචිකරුවන්ගේ පළිගැනීමේ ප්‍රහාරවලට තමන් නිබඳවම ගොදුරු වී ඇති බවය.
ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය ඊශ්‍රායල - හමාස් යුද්ධයේ 11 වැනි දිනය වන බදාදා ප්‍රකාශ කළේ ඒ වනවිට පලස්තීනුවන් 3,478 ක් මිය ගොස් 13,000 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි. ඊශ්‍රායල බලධාරීන්ට අනුව, ඊශ්‍රායලයේ 1,400 කට වැඩි පිරිසක් මිය ගොස් සිටි අතර, තුවාල ලැබූ සංඛ්‍යාව 4,475 කි. අවම වශයෙන් ළමුන් ඇතුළු තවත් 199 දෙනකු හමාස් විසින් ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ඇතැයි විශ්වාස කෙරේ.
අඟහරුවාදා ගාසා තීරයේ අල්-අහ්ලි බැප්ටිස්ට් රෝහලේදී සිදුවූ පිපිරීමට ඊශ්‍රායලය "වගකීමක් නැති" බව එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලය මේ වනවිට තක්සේරු කර තිබේ. ඒ මෙම පිපිරුම පිටුපස පලස්තීන වෙනත් සටන්කාමී කණ්ඩායමක් සිටින බවට ජනාධිපති ජෝ බිඩෙන් කළ ප්‍රකාශයෙන් පසුවය. මේ තක්සේරුව සඳහා "බුද්ධි අංශ වාර්තා, මිසයිල ක්‍රියාකාරකම් ඇතුළත් වීඩියෝ සහ පින්තූර ඇතුළුව පවතින විවෘත මූලාශ්‍ර ද පදනම්ව ඇති බව කියයි. බදාදා ඊශ්‍රායලයට පැමිණීමෙන් පසු බිඩෙන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට පැවසුවේ “මා දැක ඇති දේ මත පදනම්ව, එය ඔබ නොව අනෙක් කණ්ඩායම විසින් කරන ලද දෙයක් ලෙස පෙනේ” යනුවෙනි. නමුත් ගාසා තීරයේ බලධාරීන් රෝහලේ මාරාන්තික පිපිරුම පිටුපස ඊශ්‍රායලය සිටින බව පවසා ඇති අතර ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පැවසුවේ පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් කණ්ඩායම විසින් සිදු කළ “අසාර්ථක රොකට් දියත් කිරීමක්” මෙම පිපිරීමට වගකිව යුතු බව තම බුද්ධි අංශ පෙන්වා දී ඇති බවයි.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ද පැවසුවේ, “රෝහලට පහර දුන්නේ ගාසාවේ ම්ලේච්ඡ ත්රස්තවාදීන් මිස IDF නොවන බව මුළු ලෝකයම දැනගත යුතුයි” යනුවෙනි.
ඒ අතර බදාදා ප්‍රකාශයක් නිකුත් කරමින් හමාස් ලෝකයට කියා සිටියේ අඟහරුවාදා අල්-අහ්ලි රෝහලේ පිපිරීමට දින කිහිපයකට පෙර ඊශ්‍රායල බලධාරීන් ගාසා තීරයේ රෝහල් 21කට එහි සිටින අය ඉවත් කරන ලෙසට දන්වා ඇති බවත් එසේ නොවුවහොත් සිදුවන දෙයට ඔවුන්ම වගකිව යුතු බවට තර්ජන කර තිබූ බවත්ය.
කෙසේ වුවද මේ රෝහල් සංහාරය පිළිබඳ මැදපෙරදිග පුරා පැතිර ගිය කෝපය හේතුවෙන්, පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් ප්රමුඛව ඊජිප්තුවේ සහ ජෝර්දානයේ නායකයන් එක්ව බිඩෙන් සමඟ පැවැත්වීමට සැලසුම් කළ සමුළුවක්ද අවලංගු කර දැමුවේය. මේ අතර ඊජිප්තුව, ඊශ්‍රායලය සහ අනෙකුත් ජාත්‍යන්තර ක්‍රියාකාරීන් අතර රෆා හරස් මාර්ගය හරහා ගාසා තීරයට මානුෂීය ආධාර ලබා දීම සඳහා ට්‍රක් රථ 20කට ඇතුළුවීමට ඉඩ ලබා දීමට එකඟතාවයක් ඇතිවූ බව ඊජිප්තු විදේශ අමාත්‍යවරයා තහවුරු කර තිබේ.
මේ අතර උත්සන්න වෙමින් පවතින ඊශ්‍රායල - පලස්තීන ගැටුම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සෞදියේ ජෙඩා නගරයේ ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ (OIC) සාමාජිකයන් අතර හදිසි රුස්වීමක් පැවැත්විණි. එහිදී ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමිරබ්දොල්ලාහියන්, ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ (OIC) සාමාජිකයන් ඊශ්‍රායලයට තෙල් සහ අනෙකුත් සම්බාධක පැනවිය යුතු බවත් අල්-අහ්ලි අරාබි රෝහලට කළ මාරාන්තික ප්‍රහාරය හේතුවෙන් සියලුම ඊශ්‍රායල තානාපතිවරුන් සිය රටවලින් නෙරපා හැරිය යුතු බවත් කියාය. ගාසා තීරයේදී ඊශ්‍රායලය විසින් සිදු කළ යුද අපරාධ ලේඛනගත කිරීම සඳහා ඉස්ලාමීය නීතිඥයන් කණ්ඩායමක් පිහිටුවීමටද අමිරබ්ඩොල්ලාහියන් ඉල්ලා සිටියේය. ඉරානය මෙයට පෙර අමානුෂිය ප්‍රහාර නවතන ලෙසත් නැතහොත් තමන් සටනට අතපොවන බවටත් දැඩිව අනතුරු අඟවා තිබුණි. යම් හෙයකින් ඉරානය සිය ලක්ෂ 6 කට වැඩි පිරිස් බලයක් සහ හොඳ මූල්‍ය සැපයුමක් සහිත සිය හමුදාව රුගෙන මේ සටනට අත පෙවුවහොත් එය තුන්වැනි ලෝක යුද්ධයක ඇරුඹුමක් විය හැකි බවට විශ්ලේෂකයන් අනතුරු අඟවා තිබුණි.