2023 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

අමෙරිකාවේ 565 වැනි දැවැන්ත මිනිස් දඩයම!

 2023 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00 95

ඇමෙරිකාවේ තවත් ගිනිඅවි ඝාතනයක් ගැන වාර්තා වේ. ඇමෙරිකාවේ මේන් ප්‍රාන්තයේ ලුවිස්ටන් හිදී AR 15 වර්ගයේ රයිෆලයකින් සන්නද්ධ තුවක්කුකරුවකු විසින් ප්‍රාන්තය පුරා දැවැන්ත මිනිස් දඩයමක් ඇරුඹීමත් සමඟිනි. ඔහු විවිධ ස්ථාන තුනකදී කළ වෙඩි තැබීමෙන් 22 දෙනකු මිය ගොස් ඇති අතර තවත් 60 දෙනකුට පමණ තුවාල සිදු කර තිබේ.

එක්සත් ජනපදය තුළ මේ වසරේ වාර්තා වූ 565 වැනි වෙඩි තැබීම මෙයයි. 2023 වසරේ ඕනෑම වෙඩි තැබීමක වැඩිම තුවාලකරුවන් සංඛ්‍යාවද මේ ප්‍රහාරය නියෝජනය කරයි. ෂෙරිෆ්වරුන් විසින් නිකුත් කරන ලද ඡායාරෑපයක දැක්වෙන්නේ කළු සටන් කලිසමක් සහ දුඹුරු පැහැති ජැකැට්ටුවක් පැළඳ, AR-15 පන්නයේ රයිෆලයක් රුගත් සුදු ජාතිකයකු විවේක කාලීන විනෝද මධ්‍යස්ථානයකට ඇතුළු වන ආකාරයයි. තුවක්කුකරු තවමත් නිදැල්ලේ සිටින බැවින් අසල්වැසි Auburn නගරය ද වසා දමා ඇත.

තුවක්කු ප්‍රචණ්ඩත්වය නිසා මේ වසරේ වයස අවුරුදු 12ට අඩු ළමුන් 240කට අධික සංඛ්‍යාවක් සහ වයස අවුරුදු 12ත් 17ත් අතර යෞවනයන් 1,000කට අධික සංඛ්‍යාවක් ඇතුළුව එක්සත් ජනපදයේ 15,000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.

මේන් හි ඛේදජනක සිදුවීම්වලට පෙර දින, උතුරු කැරොලිනාවේ වෙඩි තැබීමකින් 19 හැවිරිදි තරුණයකුගේ ජීවිතය අහිමි වූ අතර 18 හැවිරිදි පුද්ගලයන් දෙදෙනකු සහ 17 හැවිරිදි එක් අයෙක් තුවාල ලැබීය.

පසුගිය මාසයේ ඩෙන්වර් හි සමූහ වෙඩි තැබීමකින් පුද්ගලයන් පස්දෙනකු තුවාල ලැබූ අතර ඒ සමඟ මේ වසරේ වෙඩි තැබීම් සංඛ්‍යාව 500 ඉක්මවන ලදී. මේ දත්ත රැස් කරන ස්වාධීන සංවිධානයක් වන, තුවක්කු ප්‍රචණ්ඩත්වය පිළිබඳ  ලේඛනාගාරය, වෙඩික්කරු හැර, පුද්ගලයන් හතර දෙනකු හෝ වැඩි ගණනක් වෙඩි තබා හෝ මිය ගිය විට එය සමූහ වෙඩි තැබීමක් ලෙස අර්ථ දක්වයි.