2023 නොවැම්බර් 11 වන සෙනසුරාදා

ගුවන් සහ ගොඩබිම් දැඩි ප්‍රහාර මැද පලස්තීනුවන්ගේ මහා නික්ම යාම!

 2023 නොවැම්බර් 11 වන සෙනසුරාදා, ප.ව. 02:00 19

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) තනා දුන් ඉවත් කිරීමේ කොරිඩෝව ඔස්සේ පලස්තීනුවන් දහස් ගණනක් උතුරු ගාසා තීරයෙන් දකුණට පා ගමනින්ම පලා යමින් සිටිති. හමාස් සටන්කාමීන්ට එරෙහිව සටන් වදින ඊශ්‍රායල හමුදාවන්ගේ නිරන්තර ගුවන් සහ ගොඩබිම් ප්‍රහාර මැද ජලය මෙන්ම ආහාර ද නොමැතිව පීඩාවට පත් පලස්තීනුවන් දකුණට ඇදී යාම දිනෙන් දින ඉහළ යමින් පවතී. සාමාන්‍යයෙන් දිනකට 5000කට අධික පිරිසක් සලාහ් අල්-ඩීන් වීදිය ඔස්සේ ගමන් කළ ද ඉකුත් අඟහරුවාදා සිට මෙය දෙගුණ තෙගුණ වෙමින් ඇති බව නවතම වාර්තා පෙන්වා දෙයි.

අඟහරුවාදා කොරිඩෝව හරහා “මිනිසුන් 15,000ක් පමණ ගමන් කරන්නට ඇති” බව එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තු කියයි. ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ප්‍රකාශක ඩැනියෙල් හගාරි එම සංඛ්‍යාව 50,000ක් ලෙස ප්‍රකාශ කළේය. "ඔවුන් පිටත්ව යන්නේ හමාස් සංවිධානයට උතුරු ගාසා තීරයේ පාලනය අහිමි වී ඇති බවත් දකුණේ ආරක්ෂිත ප්‍රදේශයක් ඇති බවත් ඔවුන් දන්නා නිසා" යැයි ඔහු පැවසීය. 

ඊශ්‍රායලය පලස්තීනුවන්ට උතුරු ගාසාවෙන් ඉවත්වීම පහසු කිරීම සඳහා දිනපතා පැය හතරක කාලයක් වෙන්කර ඇත. අයිඩීඑෆ් බදාදා සිය පැය හතරක මේ සටන් විරාමය තවත් පැයකින් දීර්ඝ කළේ, දකුණට පලා යන මහා ජන ගඟට ඉඩ සැලසීමටය. 
මෙම මහා නික්ම යාම සිදුවූයේ ගැටුම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දියුණු ආර්ථිකයන් සහිත G7 රටවල් කණ්ඩායමේ විදේශ අමාත්‍යවරුන් ජපානයට රැස්වූ අවස්ථාවේදීය. හමාස් ප්‍රහාරය හෙළා දකින අතරම ඊශ්‍රායලයේ ආත්මාරක්ෂාව සඳහා ඇති අයිතියට සහාය දෙන ඔවුහු, ගාසා තීරයේ සිවිල් වැසියන්ට ආහාර, ජලය සහ වෛද්‍ය ප්‍රතිකාර ඇතුළු “මානුෂීය සහයෝගයන්ට බාධා රහිතව” ඉඩ සලසන ලෙස ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටියහ. ඊශ්‍රායලය සටන් අතර මානුෂීය විරාමයන්ට ඉඩ දිය යුතු අතර “හදිසියෙන් අවශ්‍ය ආධාර, සිවිල් සංචලනය සඳහා ඉඩ සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට පහසුකම් සැලසීම සඳහා” කොරිඩෝවක් නිර්මාණය කළ යුතු බව ඔවුහු පැවසූහ.

කෙසේ වුවද ඊශ්‍රායල අගමැති ප්‍රධානී නෙතන්යාහු ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකර සටන් විරාමයක් ඇති කිරීම ප්‍රතික්ෂේප කර තිබුණි. 

මේ අතර ගාසා තීරයේ මිය යන සිවිල් වැසියන් සංඛ්‍යාවෙන් පෙනී යන්නේ ඊශ්‍රායලයේ හමුදා මෙහෙයුම්වල “යමක් පැහැදිලිවම වැරදී” ඇති බව යැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ගුටරෙස් ද චෝදනා කර තිබුණි. ඊශ්‍රායලය ගාසා තීරයේ ජනාකීර්ණ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටියි. බදාදා පැය 24 තුළ පුද්ගලයන් 214 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාගත විය.

ඊශ්‍රායල නිලධාරීන්ට අනුව ගාසා තීරයේ සටන් ආරම්භ වූයේ හමාස් සටන්කාමීන් දකුණු ඊශ්‍රායලය හරහා කඩා වැදී 1,400 කට වැඩි පිරිසක් මරා දමා 240 කට වැඩි පිරිසක් ප්‍රාණ ඇපයට ගැනීමෙන් පසුවය.

හමාස් සංවිධානය විනාශ කර ගාසා තීරයේ එහි පාලන තන්ත්‍රය පෙරළා දමන බවට ඊශ්‍රායලය ප්‍රතිඥා දුන් අතර, එම ප්‍රදේශයට දරුණු බෝම්බ ප්‍රහාරයක් එල්ල කළේය. ගාසා තීරයේ උතුරේ හමාස් සංවිධානයේ භුගත උමං මාර්ගවලටද දැඩි ප්‍රහාර එල්ල කෙරිණි.  පලස්තීන නිලධාරීන් පවසන පරිදි මේ ප්‍රහාර මගින් පලස්තීනුවන් 10,560කට වැඩි ප්‍රමාණයක්, ඝාතනයට ලක්ව ඇත. ඔවුන්ගෙන් තුනෙන් දෙකක්ම කාන්තාවන් සහ ළමයින්ය. තවත් 2,550ක් පමණ අතුරුදන් වී ඇතැයි වාර්තා වේ.

මේ අතර එක්සත් ජනපදය සහ කටාරය මැදිහත්ව ඊශ්‍රායලය සහ පලස්තීන හමාස් කණ්ඩායම අතර, සාකච්ඡා අඛණ්ඩව සිදුවෙමින් පවතින අතර, සටන්වල බහුදින විරාමයක් සඳහා හමාස් විසින් අල්ලාගෙන සිටින සිරකරුවන් 10-15 දෙනකු නිදහස් කිරීමට එකඟතාවයක් ඇතිවන ලකුණු පළ වී තිබේ.

 

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00