2023 නොවැම්බර් 25 වන සෙනසුරාදා

ආර්ජන්ටිනාවේ පෙරැළිකාරයා

 2023 නොවැම්බර් 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 113

ආර්ජන්ටිනාවේ මහ බැංකුව ඉවත් කර රටේ මුදල් ඒකකය බවට එක්සත් ජනපද ඩොලරය ප්‍රතිස්ථාපනය කිරීමේ යෝජනාවක් ඇතුළුව, සාම්ප්‍රදායික නොවන ආන්දෝලනාත්මක වෙනස්කම් රුසක් රුගෙන ඡන්ද සටනට පැමිණි රූපවාහිනි විස්තර විචාරකයෙක් වූ ජේවියර් මිලෙයි එරට ජනාධිපති ධූරයට පත්වූයේ 1983 වසරේ  ප්‍රජාතන්ත්‍රවාදය නැවත පැමිණීමෙන් පසු ආර්ජන්ටිනාවේ පැවැති මහ මැතිවරණයක වාර්තාගත ඉහළම ඡන්ද ප්‍රතිශතය වන 55.7% ක් ලබා ගනිමිනි.

ඔහුගේ ජයග්‍රහණය පසුපස සිටියේ කාන්තාවන් තිදෙනකු වන අතර ඉන් ප්‍රධානම තැනැත්තිය වූයේ “ලොක්කි” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ ඔහුගේ ජයග්‍රහණයේ  තිරය පිටුපස භුමිකාවක් සිදු කළ ඔහුගේ සහෝදරිය වන කරීනා මිලෙයි බව දැන් වාර්තා වේ. ඔහුගේ ත්‍රිත්ව කාන්තා බලකාය තුළ වඩාත් ප්‍රසිද්ධියේ පෙනී සිටි චරිතය වූයේ   නිළියක් සහ නර්තන ශිල්පිනියක් වන ෆාතිමා ෆ්ලෝරෙස්ය. ගබ්සාවට සහ විවාහ සමානාත්මතාවයට විරුද්ධ වීම නිසා නව රජයේ වඩාත්ම මතභේදාත්මක චරිතයක් ලෙස කැපීපෙනෙන උප ජනාධිපති ලෙස තේරී පත්වූ Victoria Villarruel අනෙක් ප්‍රධාන  භූමිකාවය. වුල්වරින්ට සහ ට්‍රම්ප්ට සමාන කර ‘පිස්සු මිනිසා’ යන අන්වර්ථ නාමයෙන් රටේ ජනතාව  හඳුන්වනු ලැබූ සැබෑවටම ඩොනල්ඩ් ට්‍රම්ප් පන්නයේ ආජන්ටිනියානු උදාහරණයක්  වන මිලෙයි, ට්‍රම්ප් බඳුම අධි දක්ෂිණාංශික පුරාජෙරුකාරයෙකි. දකුණු ඇමෙරිකාවේ දෙවැනි විශාලතම ආර්ථිකයේ ජනාධිපති ධූරයට පත්වූ ඔහුට අනුව, රජයේ බදු යනු "සොරකමකි", සමාජ සාධාරණත්වය "විකෘතියක්" වන අතර, මහජන සෞඛ්‍ය, මහජන අධ්‍යාපනය සහ සමාජ සුබසාධනය අහෝසි කළ යුතුය, දේශගුණික අර්බුදය "සමාජවාදී බොරුවකි". ඔහු මිනිස් අවයව විකිණීම නීතිගත කිරීම, රාජ්‍ය ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීම  ආර්ජන්ටිනාවේ 1976-83 ආඥාදායකත්වයේ අපරාධ අවතක්සේරු කිරීම සහ ආර්ජන්ටිනාවේ වැදගත්ම වෙළෙඳ හවුල්කරුවන් දෙදෙනා වන බ්‍රසීලය සහ චීනය සමඟ සබඳතා කපා හැරීම ඇතුළු අමුතු පන්නයේ සැලසුම් ඡන්ද සටනට ඉදිරිපත් කර තිබුණි.

මෙවැනි පෙරුළිකාර අදහස් දරන ඔහු වැඩි ඡන්දයෙන් බලයට පත්වන්නේ දශක දෙකක් පුරා එහි දරුණුතම ආර්ථික අර්බුදයට ගොදුරු වෙමින් සිටින අතර, ඔක්තෝබර් මාසයේදී වාර්ෂික උද්ධමනය 142% දක්වා ඉහළ ගිය රටකය. සම්ප්‍රදායික දේශපාලනික හා රාජ්‍යතාන්ත්‍රික ශික්ෂණයක් නොමැති ඔහු සිදු කළ දැඩි පූර්ව මැතිවරණ විවේචන මැද චීනය ඔහුගේ නව රජය සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බව පසුගිය අඟහරුවාදා ප්‍රකාශයට පත්කිරීම තවත් විස්මිත පෙරුළියක් විය.

කොමියුනිස්ට්වාදීන් සමඟ ගනුදෙනු නොකරන බව තරයේ පැවසූ මිලෙයි, චීන රජය "ඝාතකයකුට" සමාන කළ අතර චීනයේ ජනතාව "නිදහස් නැත" යැයි කීය. ඔහු චීනය සහ බ්‍රසීලය සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක ස්ථාවරයක සිටියෙකි. එසේ වුවද මිලෙයිගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු චීන විදේශ අමාත්‍යාංශය කියා තිබුණේ ආර්ජන්ටිනාව සමඟ “ස්ථාවර” සබඳතා පවත්වා ගැනීම සඳහා සමීපව කටයුතු කිරීමට චීනය සූදානම් බවය. ආර්ජන්ටිනාව නැවතත් ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීමට ට්‍රම්ප් පන්නයේ අමුතු සැලසුම් ඉදිරිපත් කර ඇති මිලෙයි, "මේ රටට දැඩි වෙනස්කම් අවශ්‍යය" යනුවෙන් ප්‍රකාශ කර තිබේ. චීනය ඔහුගේ මේ අමුතු පෙරුළිය සුබවාදීව පිළිගෙන තිබේ.