2023 නොවැම්බර් 25 වන සෙනසුරාදා

ඊශ්‍රාලය - හමාස් සටන් විරාමයෙන් පසු යුද ප්‍රහාර දිගටම!

 2023 නොවැම්බර් 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 83

ලෝක බලපෑම යටතේ ඉකුත් බ්‍රහස්පතින්දා වන විට ඊශ්‍රායල සහ හමාස් කණ්ඩායම් සටන් විරාමයකට සහ ප්‍රාණ ඇපකරුවන් හුවමාරුවකට එකඟතාව පළ කළහ. ජාත්‍යන්තර නායකයන් ගාසා ගිවිසුම සාදරයෙන් පිළිගත් අතර, මෙම සටන් විරාම කපුකම සිදු කළ ඊජිප්තුවේ සහ කටාර්හි නායකයන් වෙත ප්‍රසාදය පළ කර තිබුණි.

ඊශ්‍රායලය විසින් අත්පත් කරගෙන සිටින බටහිර ඉවුරේ පරිපාලනය දරන පලස්තීන අධිකාරියේ සභාපති මහමුද් අබ්බාස්, පලස්තීනුවන්ට එරෙහි ඊශ්‍රායල ආක්‍රමණය සහ  භුමිය පවරා ගැනීම අවසන් කිරීමට තුඩු දෙන නීත්‍යානුකූල ජාත්‍යන්තර මට්ටමේ  දේශපාලන විසඳුමක් අවශ්‍ය බව අවධාරණය කර තිබුණි.

මෙම හුවමාරුව යටතේ, හමාස් විසින් ගාසා තීරයේ රඳවාගෙන සිටින දළ වශයෙන් 240ක් වූ ප්‍රාණ ඇපකරුවන්ගෙන් කාන්තාවන් සහ දරුවන් 50 දෙනකු දින හතරක කාලයක් තුළ නිදහස් කිරීමට නියමිතය. ඒ වෙනුවට සිරගත කරන ලද පලස්තීන කාන්තාවන් සහ ළමුන් 150ක් නිදහස් කිරීමට ඊශ්‍රායලය විසින් සලකා බලමින් සිටි අතර ඒ සඳහා පලස්තීන සිරකරුවන් 300 ක් ලැයිස්තුගත කර තිබුණි. ඒ සියලුම අය අවුරුදු 18 සහ ඊට අඩු පුද්ගලයන් හෝ කාන්තාවන්ය. මේ  ඕනෑම සිරකරවකු නිදහස් කිරීම නැවැත්වීම සඳහා රටේ ශ්‍රේෂ්ඨාධිකරණයට විරෝධතා ගොනු කිරීමට ඊශ්‍රායල පුද්ගලයන්ට හෝ කණ්ඩායම්වලට අවස්ථාව ලබා දීම සඳහා මෙම ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබුණි.

මේ අතර ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා තාවකාලික සටන් විරාමයකට එළඹුණද ඊශ්‍රායලය හමාස් සංවිධානයට එරෙහි සිය යුද්ධය දිගටම කරගෙන යන බව ඊශ්‍රායල අගමැතිවරයා රූපවාහිනී වීඩියෝ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණි. "අපි යුද්ධයක යෙදී සිටිමු, අපගේ සියලු අරමුණු සාක්ෂාත් කර ගන්නා තෙක් අපි යුද්ධය දිගටම කරගෙන යන්නෙමු.” යි ඔහු කියා ඇත.

නවතම යාවත්කාලීන කිරීම් අනුව යුද්ධය ආරම්භ වූ දා සිට ගාසා තීරයේ අවම වශයෙන් ළමුන් 5,600 ක් සහ කාන්තාවන් 3,550 ක් ඇතුළත්ව පලස්තීනුවන් 14,128 ක් මිය ගොස් ඇත. UNICEF හි ප්‍රධානියා ගාසා තීරය මේ වන විට කුඩා දරුවන් සඳහා “ලොව භයානකම ස්ථානය" ලෙස නම් කර ඇති අතර සති ගණනාවක් තිස්සේ දිනකට ළමුන් 100 කට අධික සංඛ්‍යාවක් එහිදී මිය යන බව කියා තිබුණි. මාධ්‍යවේදීන් ආරක්‍ෂා කිරීමේ කමිටුව (CPJ) පවසන පරිදි, ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයේ 1200කට අධික පිරිසක් ඝාතනය කරමින් හමාස් යුද්ධය ආරම්භ කළ දා සිට අවම වශයෙන් මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයන් 52ක් මරා දමා ඇත.