2023 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

ලෝක ඉතිහාසයේ විශිෂ්ටතම ආදරයක ශෝකී අවසානය: රොස්ලින් කාටර්!

 2023 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 228

නූතන ඉතිහාසයේ විශිෂ්ටතම ආදර කතාවක් පසුගිය සතියේ නිමාව දුටුවේ ලෝකයේම ශෝකී අවධානය දිනා ගනිමිනි. ඒ හිටපු එක්සත් ජනපද ජනාධිපති පළමූ ආර්යාවක වන රොසලින් කාටර්ගේ අවසන් ගමනයි. හිටපු ජනාධිපති ආර්යාව නොවැම්බර් 19 වැනි දින සමුගන්නා විට වයස අවුරුදු 96 ක් වූවාය.

ඇය 1977 සිට 1981 දක්වා ඇමෙරිකාවේ 39 වැනි ජනාධිපතිවරයා ලෙස සේවය කළ ජිමී කාටර්  මහතාගේ පිය බිරිඳය. ඔහුට 2002 නොබෙල් සාම ත්‍යාගය පිරිනමන ලද්දේ ජාත්‍යන්තර ගැටුම්වලට සාමකාමී විසඳුම් සෙවීම, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආර්ථික හා සමාජ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා වූ දායකත්වය සඳහාය.  

ඇයගේ අවසන් සමුගැනීම ජෝර්ජියාවේ ඇට්ලන්ටා හි ඇය ඉපදුණු ප්ලෙයින්ස් නමැති කුඩා නගරයේ මරනාත නම් වූ බැප්ටිස්ට් දේවස්ථානයේදී සිදුකෙරුණේ ඇට්ලන්ටා හි අඛණ්ඩව පැවති තෙදින මහජන උපහාරයක අවසාන දිනයේදීය. 

මේ අවස්ථාව සඳහා කාගේත් විශ්මය වඩවමින්, දැනට ඉතා දුර්වල තත්ත්වයෙන් වෛද්‍ය සත්කාර මැද සිටින හිටපු එක්සත් ජනපද ජනාධිපති ජිමී කාටර් පැමිණ සිටියේ ඔවුන්ගේ වර්තමාන නිවසේ සිට සැතපුම් 100 කට වඩා දුරක් ගෙවමිනි. පෙබරවාරි මාසයේ සිට ප්‍රතිකාර ලබමින් සිටින 99 හැවිරිදි හිටපු ජනාධිපති කාටර් මහතාගේ මේ කැපවීම වසර 77ක ඔවුන්ගේ ආදර බැඳීමේ අපූරු තිරසාර බව ලෝකයටම කියා පෑවේය.

අසනීප තත්ත්වය සහ දුර හේතුවෙන් ඔහුගේ පැමිණීම මුලදී අවිනිශ්චිත වූ අතර, පසුව සඳුදා දින කාටර් මහතා පැමිණ සිටින බව තහවුරු විය. සඳුදා කාටර් මධ්‍යස්ථානයේ රාත්‍රිය ගත කළ ඔහු දේව මෙහෙයට මොහොතකට පෙර ග්ලේන්ස් අනුස්මරණ  මෙතෝදිස්ත දේවස්ථානය වෙත ගෙන යන ලදී. ආදර බැඳීම නිසා ලෝකයේම ප්‍රසිද්ධියට පත් ඔවුන් එකල හැඳින්වූයේ “කාටර්ජෝඩුව”  "The Carters” ලෙසටය. රෝද පුටුවක තබා රුගෙන ආ හිටපු ජනාධිපතිවරයා "The Carters”  යුවළගේ සිතුවමක් සහිත බ්ලැන්කට්ටුවකින් ආවරණය ලබා සිටියේය. කාගේත් අවධානය දිනාගත් මෙම බ්ලැන්කට්ටුව මෙම යුවළ කුඩා කාලයේදී සහ පසුව තරුණ වැඩිහිටියන් ලෙස ඔවුන්ගේ ජීවිතයේ වැඩි කාලයක් වාසය කළ කුඩා නගරය ප්ලේන්ස්   හි පිපුණු ඩෝග්වුඩ් මල්, ගොඩනැගිලි සහ තවත් දේවල රෑප සමඟින් "est. 1885" යන පාඨය ප්‍රදර්ශනය කළේ ඒ සොඳුරු අතීතය කාටත් සිහිපත් කරවමිනි.

රොසලින් කාටර්, ඈත උතුරේ ගොවි ගම්මානයක ඉපදුණේ කාන්තාවන්ට ඡන්ද අයිතිය ලැබී වසර කිහිපයකට පසුවය.

පසුව "උත්සාහයෙන් ජීවිතය වෙනස් කළ" ගෝලීය චරිතයක් බවට රොසලින් කාටර් පත් වූවාය. ඇය ජිමී කාටර්ගේ සමීපතම දේශපාලන උපදේශකවරිය සහ දේශපාලන ගාමක බලවේගය වූ අතර, ඇය ඇමෙරිකාවේ මිලියන ගණනක් කුටුම්භවල වඩා හොඳ මානසික සෞඛ්‍ය රුකවරණයක් වෙනුවෙන් පෙනී සිටියාය.  

ඇය ජනාධිපති ආර්යාව ලෙස සහ පසුව රටවල් 120 කට වැඩි ගණනකට සංචාරය කළාය. සංවර්ධනය වෙමින් පවතින ජාතීන් කෙරෙහි අවධානය දැඩිව යොමු කරමින්, එහිදී ඇය රෝග, සාගත සහ කාන්තාවන්ට සහ ගැහැණු ළමයින් අපයෝජනයට එරෙහිව සටන් කළාය.

ජිමී - රොසලින් ළබැඳියාව යුගයේ ආදර කතාව ලෙස සමරනු ලබන්නේ එය තොටිල්ලේ සිට ඇරුඹුණු සුන්දර බැඳීමක් නිසාය. ජනාධිපති ජිමී කාටර් සහ ඔහුගේ බිරිඳ රොසලින් කාටර් මුලින්ම මුණගැසුණේ ඇය ඉපදී ටික වේලාවකට පසු රෝහලකදීය. වසර ගණනාවකට පසු, ජිමී කාටර්, එක්සත් ජනපද නාවික ඇකඩමියේ සිට නිවසට යන ගමනකදී රොසලින් දැක ඔවුන්ගේ පළමු ආදර දින හමුවට ඇයට ආරාධනා කිරීමත් සමඟ ඔවුන්ගේ කුඩා කල ප්‍රේමය මල්පල ගැන්විණි. අවසානයේ ජිමීගේ උපාධිය ලැබීමෙන් පසු විවාහයට තුඩු දුන් දුරස්ථ සම්බන්ධතාවයක ආරම්භය එලෙස සනිටුහන් කළේය. 

කාටර්ගේ නාවික සේවය අතරතුර මුහුණ දුන් ස්ථාන මාරුවීම් කිහිපයකින් පසුව, මෙම යුවළ පවුලේ රටකජු ව්‍යාපාරය අධීක්ෂණය කිරීම සඳහා නැවත ප්ලේන්ස් වෙත පැමිණියහ. කාලයාගේ ඇවෑමෙන්, ජිමී 1974 දී දේශපාලනයට පිවිසි අතර අවසානයේ එක්සත් ජනපදයේ ජනාධිපති ධූරය දෙවරක් දැරීය. 1980 දී කාටර්ගේ පරාජයෙන් පසුව, යුවළ නැවත ප්ලේන්ස් වෙත ගොස් දෙදෙනා එක්ව ඇරැඹූ කාටර් මධ්‍යස්ථානය හරහා ඔවුන්ගේ ලෝක මානුෂීය ආධාර සහ පාරිසරික වැඩ කටයුතු දිගටම කරගෙන ගියේය.

හිටපු ජනාධිපතිවරුන් වන ජිමී කාටර් සහ බිල් ක්ලින්ටන්, වත්මන් ජනාධිපති බිඩෙන්, උප ජනාධිපති කමලා හැරිස් සහ දැනට ජීවත්ව සිටින සහ හිටපු ජනාධිපති ආර්යාවන් පස්දෙනා වන - ජිල් බිඩෙන්, මෙලනියා ට්‍රම්ප්, මිෂෙල් ඔබාමා, ලෝරා බුෂ් සහ හිලරි ක්ලින්ටන් යන සියල්ලන්ම හිටපු ජනාධිපති ආර්යාව රොසලින් කාටර් වෙනුවෙන්  අවසන් බුහුමන් දක්වන්නට ඇට්ලන්ටා වෙත රුස්වීම සුවිශේෂී සිද්ධියක් විය.

 

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00