ChatGPT පරදන Gemini
කතාවක්, තිර පිටපතක්, නිබන්ධයක්, ප්‍රවෘත්තියක්, විශේෂාංග ලිපියක් මෙන්ම රාජකාරි ලිපියක් ලිවීම වැනි සාමාන්‍ය භාෂාමය වැඩ කටයුතු පහසු කිරීමට ආධාරකාරී වන ලෙස OpenAI සමාගම මෙයට වසරකුත් සතියකට පෙර හඳුන්වා දුන් ජනප්‍රිය භාෂා සහායක කෘත්‍රිම බුද්ධි තාක්ෂණයක් වූ ChatGPT පරදන අලුත් AI තාක්ෂණික සහායකයෙක් Google ආයතනය හඳුන්වා දී තිබේ. එය හැඳින්වෙන්නේ Gemini නමින්ය.
මෙතෙක් වැඩිදියුණු කර ඇති වඩාත්ම දක්ෂ හා පොදු කාර්යය සඳහා ශුරතම AI මාදිලිය ලෙස Gemini හඳුන්වන Google ආයතනය මෙම විශාල භාෂා ආකෘතියේ (LLM) උසස් අනුවාදය ලබන වසරේ සිට ලොව පුරා පුළුල් කිරීමට සැලසුම් කර ඇති බව කියයි. බහුකාර්ය භාෂා අවබෝධය වැනි සමස්ත පරීක්ෂණ 32කින් 30ක්ම සාර්ථකව නිමකිරීමට Gemini මේ වන විට සමත්ව තිබේ.
දැනට ඇති, Gemini හි වඩාත්ම මූලික මාදිලිය පණිවුඩ ලියා යැවීම හෝ ලබාගැනීමට සීමා වී ඇත. නමුත් ඉදිරියේදී එන Gemini Ultra වැනි වඩා බලවත් මාදිලිවලට රූප, වීඩියෝ සහ ශ්‍රව්‍ය මාධ්‍ය වෙන්ව හඳුනා ගනිමින් ඒවා සමඟ එකවර ක්‍රියා කරමින් සංකීර්ණ නිර්මාණ දායකත්වයක් ලබාදීමට හැකිවනු ඇත. එපමණක් නොව රොබෝවන් වැනි ආකාරයට ඇසීම දැකීම මෙන්ම ස්පර්ශ සංවේදනය වැනි පුළුල් හැකියාවන් වර්ධනය කර ගනිමින් මෙම ආකෘති ඔවුන් අවට ලෝකය ගැන වඩා හොඳින් තේරැම් ගනිමින් ස්වයංව ප්‍රතිචාර දැක්වීමට සමත් වනු ඇති බව ගූගල් කියයි.
ගූගල් - වර්තමාන ලෝකයේ AI සංවර්ධනයට දායක වූ තාක්ෂණය බොහෝමයක් නිර්මාණය කිරීම පිටුපස සිටි මූලික සමාගමය. එය දශකයකට ආසන්න කාලයක් ලොව “AI-ආරම්භක” සංවිධානය ලෙස නමක් දිනා සිටියේය. නමුත් OpenAI සමාගම ChatGPT හඳුන්වාදීමත් සමඟම ඇතිවූ එහි ජනාකර්ෂණීය පෙරුළිකාර තාක්ෂණික දායකත්වය ගූගල්ට අභියෝගයක් විය. දැන් සිය නවතම AI මාදිලිය Gemini මගින් ගුගල් සිය ප්රමුඛ නාමය නැවත දිනාගැනීමට අරමුණු කර ඇත.