2023 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

ලොව මුල් පෙළේ පත්තරයක් A.I ට නඩු දමයි!

 2023 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 66

අමෙරිකාවේ සුප්‍රකට නිව් යොක් ටයිම්ස් ආයතනයද ඉකුත් බදාදා A.I වලට එරෙහිව ප්‍රකාශන හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් වූ ඉතිහාසගතවන නඩුවක්  පැවරුවේය. මේ අනුව ටයිම්ස් යනු, Chat GPTහි නිර්මාතෘවරුන්ට සහ අනෙකුත් ජනප්‍රිය A.I සමාගම්වලට එරෙහිව නඩු පවරන මුල්ම ප්‍රධාන පෙළේ ඇමරිකානු මාධ්‍ය සංවිධානයයි.

පසුගිය කාලයේ හොලිවුඩ් රචකයන් මෙන්ම පුලිට්සර් සම්මාන පවා දිනූ ලේඛකයන් සහ කතුවරුන්ද කෘත්‍රිම බුද්ධිය මගින් සිය නිර්මාණ අනවසරයෙන් භාවිතය ගැන නඩු ගොනුකර තිබුණි. නිව් යොක් ටයිම්ස් ආයතනය  බුද්ධි තාක්ෂණයන් පුහුණු කිරීම සඳහා සිය ප්‍රකාශිත කෘතීන් අනවසරයෙන් භාවිතා කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන A.I  සමාගම් වන OpenAI සහ Microsoft වෙත නඩු පැවරීමත් සමඟ එය A.I එරෙහි නීතිමය සටනේ නව පෙරමුණක් විවෘත කර තිබේ.

මේ ප්‍රධාන මාධ්‍ය ආයතනය එහි ලිඛිත කෘති හා සම්බන්ධ ප්‍රකාශන හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මෑන්හැටන්හි ෆෙඩරල් දිස්ත්‍රික් උසාවියේ ගොනුකරන ලද මෙම නඩුවෙන් තර්ක කරන්නේ ටයිම්ස් විසින් ප්‍රකාශයට පත්කරන ලද මිලියන ගණනක් ලිපි සහ විශ්වාසදායක තොරතුරු තමන්ට තරගකාරීත්වයක් වන ස්වයංක්‍රීය චැට්බෝට් පුහුණු කිරීමට මූලාශ්‍රයන් ලෙස අනවසරයෙන් භාවිතා කර ඇති බවටය.

නඩු පැවරුම මගින් අලාභ ලෙස නිශ්චිත මුදල් ඉල්ලුමක් ඇතුළත් නොවේ. එහෙත් එය පවසන්නේ ''ද ටයිම්ස්හි අද්විතීය වටිනා කෘති නීති විරෝධී ලෙස පිටපත් කිරීම සහ භාවිතය'' සම්බන්ධයෙන් ''ඩොලර් බිලියන ගණනක හානි'' සඳහා විත්තිකරුවන් වගකිව යුතු බවයි. ටයිම්ස්හි ප්‍රකාශන හිමිකම ඇති ද්‍රව්‍ය භාවිතා කරන ඕනෑම චැට්බෝට් මාදිලියක් සහ ඒ තුළ ඇති දත්ත විනාශ කරන ලෙස එම සමාගම්වලින් ඔවුන් ඉල්ලා සිටියි. 

නමුත් පත්‍රය මුද්‍රණයට යන අවස්ථාව වනතුරුද මයික්‍රොසොෆ්ට් මේ නඩුව පිළිබඳව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර තිබූ අතර, OpenAI සමාගමද වහාම අදහස් දැක්වීමක් ලබා දී තිබුණේ නැත.