2024 ජනවාරි 13 වන සෙනසුරාදා

ඉක්වදෝරයේ ආරක්ෂක අලකලංචිය!

 2024 ජනවාරි 13 වන සෙනසුරාදා, ප.ව. 02:00 59

සජීවී විකාශනයක් අතරතුර පුපුරණ ද්‍රව්‍යවලින් සන්නද්ධ තුවක්කුකරුවන් පිරිසක් රූපවාහිනී මධ්‍යස්ථානයකට කඩා වැදීමත් මාධ්‍යවේදීන් ඇතුළු 10 දෙනකු ප්‍රාණ ඇපයට ගැනීමත් සමඟ ඉක්වදෝරයේ කාලයක් තිස්සේ නරක අතට හැරෙමින් තිබූ ආරක්ෂක තත්ත්වය මේ සතියේ තවදුරටත් පිරිහී ගියේය.

ඝාතන, පිපිරීම්, පොලිස් පැහැරගැනීම් සහ බන්ධනාගාර කැළඹීම්වලින් වසර ගණනාවක් තිස්සේ අස්ථාවරත්වය වර්ධනය වෙමින් පැවැති රටේ අලුත්ම අලකලංචිය වූයේ ඉක්වදෝරයේ ප්‍රබලම මත්ද්‍රව්‍ය ලොක්කකුගේ පැන යාමය. ඒ රටේ ඉහළ පෙළේ මත් ජාවාරම් කල්ලි නායකයකු වූ ඇඩොල්ෆෝ “ෆිටෝ” මැකියාස් ඉරිදා ගුවායාකිල් හි බන්ධනාගාරයකින් පැන යාමයි. මැකියාස් ෆිටෝ යනු මෙක්සිකෝවට සහ එක්සත් ජනපදයට ප්‍රවාහනය කරන සමුද්‍ර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වූ ඉක්වදෝරයේ වඩාත්ම බියකරු කල්ලිවලින් එකක් වන ලොස් චෝනෙරෝස් හි නායකයා ය. වසර 2011 දී මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මිනීමැරුම් ඇතුළු අපරාධ සම්බන්ධයෙන් මැකියාස් ෆිටෝට වසර 34ක සිරදඬුවමක් නියම විය. පැන යාමට ප්‍රතිචාර වශයෙන් රට පුරා දින 60ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ අතර, 3,000කට වැඩි පොලිස් නිලධාරීන් සහ සන්නද්ධ හමුදා සාමාජිකයන් මැකියාස් සොයා ගැනීමට යොදවා තිබේ. 

ෆිටෝ පලා යාම ප්‍රචාරය වූ පසුව, ඉක්වදෝරයේ විවිධ පළාත්වල අවම වශයෙන් බන්ධනාගාර හයක රැඳවියන් ආරක්ෂකයන් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගැනීමත් සමඟ  විවිධ ප්‍රචණ්ඩ සිදුවීම් වාර්තා විය. අපරාධ කණ්ඩායම් ඔවුන්ගේ ක්‍රියාකාරකම් මර්දනය කිරීමේ උත්සාහයන් අධෛර්යමත් කිරීම සඳහා සිය ශක්තිය පෙන්වීමක් ලෙස ප්‍රචණ්ඩ ප්‍රහාර රුල්ලක් දියත් කළේය. මෙයින් ඉක්වදෝරයේ විශාලතම නගරය වන Guayaquil හි අවම වශයෙන් පුද්ගලයන් අට දෙනකු මිය ගිය අතර පොලිස් නිලධාරීන් කිහිප දෙනකු පැහැරගැනීමට ද ලක්ව තිබේ. පොලිස් ස්ථානයට කඩා වැදී ගිනිඅවි සහ අත්බෝම්බ සොරාගත් 13 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. Galapagos දූපත්වලට නිවහන වූ සංචාරක හිතකාමී ඩොලර් ආර්ථිකයක් ඇති "සාමයේ දූපතක්" ලෙස කලක් හැඳින්වූ ඉක්වදෝරය, ලෝකයේ විශාලතම කොකේන් නිෂ්පාදකයන් දෙදෙනකු වන පේරු සහ කොලොම්බියාව අතර පිහිටා ඇත. මේ නිසාම  ඒ රටේ ගැඹුරු වරායන් එක්සත් ජනපදයේ සහ යුරෝපයේ පාරිභෝගිකයන් වෙත කොකේන් ලබාගැනීමේ ප්‍රධාන සංක්‍රාන්ති ස්ථානයක් බවට පත්ව ඇත. එහි ඩොලර්කරණය වූ ආර්ථිකය ද මුදල් විශුද්ධිකරණය කිරීමට උත්සාහ කරන ජාවාරම්කරුවන් සඳහා යස උපාය මාර්ගික ස්ථානයක් බවට පත් වී හමාරය.