ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රබල අපේක්ෂකයකු මූලික නාමයෝජනා තරගයෙන් ඉවත්ව තිබේ. ඒ හිටපු නිව් ජර්සි ආණ්ඩුකාර ක්‍රිස් ක්‍රිස්ටිය. 2024 දී රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂකත්වය සඳහා වන සිය ඡන්ද ව්‍යාපාරය අවසන් කරන බව ඔහු බදාදා ප්‍රකාශ කළේය.
නාමයෝජනා ඉවත් කරගත් ඔහු “ඩොනල්ඩ් ට්‍රම්ප්ට නැවත කිසි දිනෙක එක්සත් ජනපදයේ ජනාධිපති වීමට ඉඩ නොදෙන” බවට පොරොන්දු විය. කෙසේ වුවද ට්‍රම්ප්ගේ ප්‍රබල විවේචකයකු සහ තරගකාරී බලපෑමක් කළ හැකි අයකු වූ ඔහුගේ ඉවත් වීම දකුණු කැරොලිනාවේ හිටපු ආණ්ඩුකාර නිකී හේලිට ආශිර්වාදයක් විය හැකි බව විචාරක මතයයි.
නිව් හැම්ප්ෂයර් විශ්වවිද්‍යාලය විසින් පවත්වන ලද මත විමසුමකට අනුව, ක්‍රිස්ටිගේ ආධාරකරුවන්ගෙන් 65% ක්ම, එනම් සමස්තයෙන් 12% ක් ඔවුන්ගේ දෙවැනි තේරීම ලෙස හේලි ලැයිස්තුගත කර ඇති බව සමීක්ෂණයෙන් හෙළි විය. සමීක්ෂණයේ තතු අනුව ප්‍රාථමික ඡන්දදායකයන් අතර ඇය ට්‍රම්ප්ට වඩා 39% සිට 32% දක්වා පසුපසින් සිටියාය.
මේ අතර ඇය ට්‍රම්ප්ගේ උප ජනාධිපති වීමට තරග වැද සිටින බවට තරගයෙන් ඉවත් වූ ක්‍රිස් ක්‍රිස්ටි චෝදනා නඟා තිබේ. මේ නිසා ඔහු සිය ඡන්දදායකයන් ඇය වෙත නැඹුරු වීම පිළිබඳ වැඩි කැමැත්තක් ද නොදක්වයි. “මම දැන් තරගයෙන් ඉවත් වුණා. ඉතින් මම නිකී හේලිට සහාය වුණා යැයි කියමු. ඉන්පසු මෙතැන් සිට මාස තුනකින්, හතරකින් ඇය ට්‍රම්ප්ගේ උප ජනාධිපති ලෙස එළියට එයි. එතකොට මාව මොන වගේ පෙනේවිද? මගේ අදහස් පරිදි ඇයට සහාය දුන් සියලු දෙනාට මොකද වෙන්නේ?” දැඩිතර ට්‍රම්ප් විරෝධියකු වන ඔහු කියා ඇත. "ට්‍රම්ප් එක්සත් ජනපදයේ ජනාධිපති වීමට නුසුදුසු යැයි කීමට අකමැති ඕනෑම අයකු එක්සත් ජනපදයේ ජනාධිපති වීමට නුසුදුසු යැයි" ක්‍රිස්ටි කියා තිබේ.