2024 පෙබරවාරි 03 වන සෙනසුරාදා

හිට්ලර් පන්නයේ අලුත්ම මරණ දඬුවම!

 2024 පෙබරවාරි 03 වන සෙනසුරාදා, ප.ව. 02:00 107

හිට්ලර් යුගයේ ම්ලේච්ඡ ගෑස් කූටීර දණ්ඩනයක් සිහිපත් කරවමින් එක්සත් ජනපද ඉතිහාසයේ මතභේදාත්මකම මරණ දණ්ඩනය ඇලබාමාහි 58 හැවිරිදි කෙනත් ඉයුජින් ස්මිත් නමැත්තාහට එරෙහිව ක්‍රියාත්මක විය. නව දණ්ඩන ක්‍රමය අත්හදා බැලීමට ඔහු පරීක්ෂණාගාර මීයෙක් ලෙස උසාවි නියෝග අනුව යොදාගෙන තිබුණි. මෙම ක්‍රමය භාවිතා කළ පළමු අවස්ථාව මෙයයි. දැන් මේ අලුත්ම මරණ දඬුවම දැඩි විවේචනයකට ලක්වෙමින් රජයට ඝාතන චෝදනාවක්ද එල්ල වී තිබේ.

නයිට්‍රජන් වායුව යොදා සිදුකළ මෙම දණ්ඩන ක්‍රමයේදී විනාඩි 22ක් ඔහු ජීවිතය වෙනුවෙන් අරගල කළ බව වාර්තා විය. 1982 සිට ඇරැඹි එන්නත් ක්‍රමයට වඩා මෙම නයිට්‍රජන් වායුව යෙදීමේ, ක්‍රමය වඩාත් මානුෂීය යැයි රජය කියා තිබුණි. නමුත් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් ඇතුළු විශේෂඥයන් ප්‍රමුඛ දෙස් විදෙස් බොහෝ පිරිසක් මෙම දණ්ඩන ක්‍රමය දැඩිව හෙළා දුටුවේය.

නයිට්‍රජන් වායුව ආශ්වාස කිරීම වේදනාකාරී සහ නින්දිත මරණයක් ඇති කරන බව සඳහන් කරමින් ඔවුන් මීට පෙර එය ක්‍රියාත්මක කිරීම නතර කරන ලෙස ඉල්ලා තිබුණි. මීට අමතරව, ගෑස් යොදා හුස්ම හිරකරවීමේ පර් යේෂණ ක්‍රියාත්මක කිරීමද ජාත්‍යන්තර නීතියට පටහැනි වේ.

වායු ගෝලයෙන් හතරෙන් තුනකට වඩා නයිට්‍රජන් පැවැති, එලෙස මිශ්‍රව ඇති එම වායුව විෂ සහිත නොවේ. නමුත් පිරිසිදු සාන්ද්‍රිත ස්වරෑපයෙන්, ඇති වායුව ආශ්වාස කිරීමෙන් මොළයට යන ඔක්සිජන් අවහිර කරයි, එය ‘නයිට්‍රජන් හයිපොක්සියාව’ ලෙස හැඳින්වේ.