ඉන්දියාවේ දහස් ගණනක් ගොවීන් පා ගමනින්, ට්‍රුක්ටර් සහ ට්‍රක් රථවලින් පැමිණ අගනුවර වන නවදිල්ලිය නැවතත් වටලා තිබේ.
තම නිෂ්පාදන සඳහා සහතික මිලක් ලබා ගැනීම සහ ණය නිදහස් කිරීම් ඇතුළු ඔවුන්ගේ ඉල්ලීම් ගණනාවකට පිළියම් ලබා ගැනීම සඳහා ආණ්ඩුවට බල කිරීමට මේ උද්ඝෝෂණ අරඹා තිබේ. මේ වන විට ආරක්ෂක බලකොටුවක් බවට පත් කර ඇති දිල්ලියට මායිම්ව පිහිටි හර්යානා ප්‍රාන්තයේ දී පොලිසිය අඟහරුවාදා ගොවීන් අගනුවරට ළඟා වීම වැළැක්වීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේ දෙවසරකට පෙර ගොවීන් විසින් මාස 16 ක් පුරා පැවැත්වූ මහා උද්ඝෝෂණයේ මතකයන් යළි පණ ගන්වමිනි. අගනුවරට ඇතුළු වන ස්ථාන කිහිපයක්ම කටුකම්බි රොල්, යකඩ බාධක සහ සිමෙන්ති කුට්ටිවලින් අවහිර කර මුද්‍රා තබා ඇත. පන්ජාබ් සහ හර්යානා ඇතුළු තවත් උතුරු ප්‍රාන්ත කිහිපයක ගොවීන් විසින් කැඳවන ලද මෙම ‘දිල්ලි පා ගමනට’ පෙර බලධාරීන් දිල්ලියේ විශාල රුස්වීම් තහනම් කර හර්යානා ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක අන්තර්ජාල සේවා ද අත්හිටුවා ඇත.