ස්පාඤ්ඤ වයින් කර්මාන්ත ශාලාවකට ඇතුළු වූ නාඳුනන ආක්රමණිකයකු ඒ තුළ වූ වයින් ටැංකි විවෘත කර වයින් ලීටර් 60,000ක් ගලා යාමට සලස්වා ඇත. මේ හිස් කිරීමෙන් ආයතනයට යුරෝ මිලියන 2.5කට (පවුම් මිලියන 2.1කට) වැඩි පාඩුවක් සිදුවී ඇත.
Cepa 21 ලෙස නම් කර ඇති මේ වයින් නිෂ්පාදනාගාරයේ නියෝජිතයකු පැවසුවේ මෙලෙස ඉහිරුණු වයින් නිෂ්පාදනාගාරයේ ඇති මිල අධිකම ප්රභේද දෙකක් වන Horcajo සහ Malabrigo වර්ගයන්ට අයත් බවයි.
ඉරිදා ප්රාදේශීය වේලාවෙන් සවස 03:30 ට (GMT 02:30) මෙම සිදුවීම සිදු වූ අතර, CCTV වල, හිස්වැසුම් පැළඳ සිටින පුද්ගලයකු ටැංකි අතරට ගොස් වේගයෙන් ඒවා විවෘත කරන ආකාරය දැකගත හැකි අතර වේගයෙන් වයින් බිමට ගලා යන අයුරු සටහන්ව ඇත. අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයා වයින් කර්මාන්ත ශාලාව ගැන හුරුපුරුදු අයකු විය හැකි බවට පොලිසිය සැක කරයි.