2024 මාර්තු 09 වන සෙනසුරාදා

බයිඩන් හරි නෑ! ට්‍රම්ප් නියමයි! අමෙරිකා නව ජනමත සමීක්ෂණ කියයි

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 143

ඉකුත් මාර්තු 5 ඇමෙරිකාවට සුපිරි අඟහරුවාදාවකි. ඒ දිනය නොවැම්බර් මාසයට පෙර පැමිණි වසරේ විශාලතම මැතිවරණ දිනයයි. මැතිවරණ ප්‍රාථමික 15ක ඡන්දය එකවර පැවැත්වුණු එදා, ඉන් 14ක්ම දිනාගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ට හැකිවිය. ඔහුත් සමඟ රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වයට තරග කළ නිකී හීලි හට දිනාගත හැකිවූයේ වර්මොන්ට් ප්‍රාන්තය පමණි. මේ හේතුවෙන් හිටපු එක්සත් ජනපද තානාපතිනි නිකී හීලි බදාදා උදෑසන නිවේදනය කළේ තමන් සිය මැතිවරණ ව්‍යාපාරය අත්හිටුවන බවයි. ‘දැන් ට්‍රම්ප්ට ඡන්ද උපයා ගැනීමේ අවස්ථාව උදා වී ඇතැයි කී ඇය තරගයෙන්  ඉවත් වීමත් සමඟ ට්‍රම්ප්ට රිපබ්ලිකන් පක්ෂ නාමයෝජනාව මාර්තු 12 පමණ වන විට දිනා ගන්නට ඉඩහසර උදා වී ඇතැයි දේශපාලන නිරීක්ෂකයෝ කියති.

මේ අතර ජෝ බයිඩන් ද මේ ප්‍රාන්ත 15ම දිනා ඩෙමොක්‍රුටික් අපේක්ෂකත්වය තහවුරු කරගෙන ඇති නමුදු, ඔහුට සිය නාමයෝජනා ලැබීම මාර්තු 19 පමණ වනතුරු පමා වනු ඇති බවට අදහස් පළව තිබේ. මේ අනුව නොවැම්බර් ජනාධිපතිවරණය නැවතත් ජෝ බයිඩන් සහ ඩොනල්ඩ් ට්‍ර්ම්ප් අතර තියුණු තරගයක් බවට පත්වන ලකුණු පහළ වී හමාරය. මෙවර ඡන්ද සටන තුළ   ට්‍රම්ප්ට වඩාත් වාසිදායී වටාපිටාවක් සැකසී ඇති බව පෙනී යයි. ඒ මෑතක එළිදුටු  සමීක්ෂණ සමූහයකට අනුවය.

මේ එක් සමීක්ෂණයකට අනුව ඇමෙරිකානු ඡන්ද දායකයන්ගෙන් 72% ක්ම සිතන්නේ මේ වන විට රට වැරදි දිශාවකට ගමන් කරමින් සිටින බවය. රටේ පවතින ඉහළ මිල ගණන්, නීතිවිරෝධී සංක්‍රමණිකයන් ගලා ඒම සහ ගෝලීයව රට පත්ව ඇති  අස්ථාවරත්වය හේතුවෙන් අවුල්ව සිටින ඡන්ද දායකයන් වයෝවෘද්ධ ජනාධිපති බිඩෙන්ට මෙම ගැටලු විසඳිය හැකි බව විශ්වාස නොකරන අතරම වයස්ගත වුවද වඩාත් ආකර්ශනීය පොරොන්දු ලබා දී ඇති ජනාධිපති ට්‍රම්ප්ට නැවත ධවල මන්දිරයට යාමට මග පෑදීමට ඉඩ ඇති බව පෙනී ගොස් තිබේ.

රටේ උද්ධමනය, සංක්‍රමණ ගැටලු මෙන්ම ඊශ්‍රායලය සහ හමාස් (ෆොක්ස්) අතර යුද්ධය සම්බන්ධයෙන් බයිඩන් හැසිරුණු ආකාරය ඡන්ද දායකයන්ගෙන් තුනෙන් දෙකක්ම ප්‍රතික්ෂේප කරති. මෙම සති අන්තයේ නිකුත් කරන ලද මත  විමසීම්වලදී, සාමාන්‍යයෙන් ඡන්ද දායකයන් අතරින් 60% ක්ම බයිඩන් අනුමත කර නැත.

සති අන්තයේ ප්‍රධාන මාධ්‍ය 3ක් මගින්  නිකුත් කරන ලද පූර්ව මත විමසීම් එකතුවකදී,  ට්‍රම්ප් 49-47% (Fox News),  47-45% (WSJ) සහ 48-43% (නිව් යෝර්ක් ටයිම්ස්/ සියානා)  ලෙස ඉදිරියෙන් සිටින බව තහවුරුව ඇත. එම ප්‍රතිඵල සියල්ල තියුණු තරගයක් පෙන්නුම් කරයි.

මේ මත විමසුම් අනුව රටේ බොහෝ ඡන්ද දායකයන් සිතන්නේ බයිඩන්ට වයස වැඩියි කියාය. ඡන්ද දායකයන්ගෙන් 62% ක් පවසන්නේ බයිඩන්ට ජනාධිපති ලෙස ඵලදායී ලෙස සේවය කිරීමට තරම්  මානසික සුවයක් නොමැති බවය (ෆොක්ස්). වෝල් ස්ට්‍රීට් ජර්නල් (WSJ) විමසුම කියන්නේ ද ඡන්ද දායකයන්ගෙන් 73% ක්ම "ජනාධිපති ධූරය සඳහා තරග කිරීමට බයිඩන් වයස වැඩියි" කියා පවසන බවය.

ට්‍රම්ප් ද වයස්ගත වන අතර මානසික පරිහානියේ සලකුණු පෙන්නුම් කර ඇති බවට ඩිමොක්‍රටික් පාක්ෂිකයෝම මැසිවිලි නගති. නමුත් මත විමසීමේදී ඔහුට එරෙහිව ලද ප්‍රමාණය බයිඩන්ට වඩා අවමය.

හිටපු ජනාධිපති ට්‍රම්ප්ට මානසික සුවතාවය සම්බන්ධයෙන් බයිඩන්ට වඩා ලකුණු 10ක වාසියක් සහ “වයස වැඩිද” යන කාරණාව සම්බන්ධයෙන් ඔහුට ලකුණු 21ක වාසියක් ලැබී ඇත. මේ අතර රටේ බහුතරයක් ප්‍රමුඛ අපේක්ෂකයන් දෙදෙනාම අයහපත් ලෙස සලකන වටාපිටාවක්ද ගොඩනැගී තිබෙන බව සමීක්ෂණ පෙන්වා දෙයි.

ඒ අනුව, 2024 සිට වෙනත් අයකු ජාතිය මෙහෙයවීම ගැන ඡන්ද දායකයන් අසාමාන්‍ය ලෙස උද්‍යෝගිමත් වන අතර, දළ වශයෙන් පස් දෙනකුගෙන් එක් අයකු නම් කරන ලද තෙවැනි පාර්ශ්වීය අපේක්ෂකයකුට ඔවුන්ගේ සහාය ලබා දීමට කැමැත්ත පළ කර ඇත. හිටපු ජනාධිපති ආර්යාවක වන මිචෙල් ඔබාමා තරගයට එන බවට පැතිර ගිය ආරංචියත් සමඟ ඡන්ද සටන උඩුයටිකුරු වන ලකුණු පහළ වී තිබුණද පසුව ඇගේ කාර්යාලය වෙතින් මේ ගැන ඇයගේ කැමැත්තක් නැති බවට වාර්තා විය.

මේ අතර ජනාධිපතිවරණය සඳහා වන ෆොක්ස් නිව්ස් හි පළමු බල ශ්‍රේණිගත කිරීම්වලට අනුව, මීළඟ මැතිවරණය ජයග්‍රහණය කිරීමට තරම් ප්‍රමාණවත් මැතිවරණ විද්‍යාල ඡන්ද ප්‍රමාණයක් තනිව ලබා ගැනීමේ හැකියාව බයිඩන්ට හෝ ට්‍රම්ප්ට නැති බව තහවුරුව තිබේ.