2024 මාර්තු 23 වන සෙනසුරාදා

ගාසා තීරයේ ලක්ෂ 20ක් බඩගින්නේ!

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 32

ආහාර හිඟය හේතුවෙන් ගාසා තීරයේ ලක්ෂ 20කට ආසන්න පිරිසක් බඩගින්නේ සිටින බව නවතම IPC වාර්තාවක් අනාවරණ කර ඇත. ඒ වාර්තාවට අනුව, 2024 ජූලි වන විට ගාසා තීරයේ මුළු ජනගහනයම සාගතයකට ගොදුරු වනු ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ද, උතුරු ගාසා තීරයේ සාගතය ආසන්නව පවතින අතර 2024 මාර්තු සහ මැයි අතර ඕනෑම වේලාවක එය ඇතිවිය හැකිය. මේ වන විටද ගාසා තීරයේ අවම වශයෙන් ළමුන්ගෙන් 30% ක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙති.

දැඩි අවදානම් මට්ටමක ඇති උග්‍ර ආහාර හිඟය හේතුවෙන් මැයි මාසය වන විට උතුරු ගාසා තීරය සාගතයකට මුහුණ දිය හැකි බවට අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ද පසුගියදා අනතුරු ඇඟවීය.

ඒ අනුව වහාම ගාසා තීරයට සටන් විරාමයක් අවශ්‍ය බවත් අවශ්‍යතා ඇති පුද්ගලයන්ට ආහාර සැපයීමට ප්‍රමුඛත්වය දෙන ලෙසත් ඇමෙරිකාව ඊශ්‍රායලයෙන් ඉල්ලා තිබේ. ඒ අනුව සටන් නැවැත්වීමට, මානුෂීය ආධාර ලබා ගැනීමට සහ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් ඉවත් කිරීමට, හමාස් සංවිධානය සමඟ ගිවිසුමකට එළඹීමේ අපේක්ෂාවෙන් කටාර්හිදී තවත් සාකච්ඡා වටයක් ද ආරම්භ කිරීමට නියමිතව ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, ගාසා තීරයේ මිලියන 2.2ක් වූ ජනගහනයෙන් 75% කට වැඩි ප්‍රමාණයක් (මිලියන 1.7ක පමණ ජනතාවක්) සරණාගතයන්ව අවතැන්ව සිටිති. ගැටුම ආරම්භයේ සිටම ඊශ්‍රායලය විසින් බෝම්බ සහ මිසයිල 29,000කට වැඩි ප්‍රමාණයක් භාවිත කර ඇති අතර, ගොඩනැගිලි සහ යටිතල පහසුකම්වලට විශාල හානියක් සිදු කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ නිවාස, රෝහල්, පාසල්, ජලය සහ සනීපාරක්ෂක පහසුකම් ඇතුළු සිවිල් යටිතල පහසුකම්වලින් 80% ක් පමණ විනාශ වී හෝ දැඩි ලෙස හානි වී ඇති බවයි. චන්ද්‍රිකා මගින් ගාසා හි, හානි වූ හෝ විනාශ වූ ගොඩනැගිලි 157,200ක් දක්නට හැකිය. එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන පවසන්නේ යුද්ධයේ සුන්බුන් සහ පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරීමට වසර 3ත් 12ත් අතර කාලයක් ගත විය හැකි බවයි.