තව දින කිහිපයකින් ඉන්දියාව ලොව විශාලතම ප්රජාතන්ත්රවාදී මැතිවරණය ආරම්භ කරනු ඇත. ඒ අනුව 18 වැනි ලෝක් සභාවේ මන්ත්‍රීවරුන් 543ක් තෝරා ගැනීම සඳහා වූ මහ මැතිවරණය 2024 අප්‍රේල් 19 සිට 2024 ජූනි 1 දක්වා පැවැත්වෙනු ඇත. ඇස්තමේන්තුගත බිලියන 1.4 ක ජනතාවක් සිටින රටක මිලියන 960 ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති අතර, සිකුරාදා ආරම්භ වන මැතිවරණය සම්පූර්ණ කිරීමට මාසයකට වැඩි කාලයක් ගතවනු ඇත. මෙහිදී නරේන්ද්‍ර මෝදි දුර්ලභ තෙවැනි වරටත් අඛණ්ඩ පස් වසරක් සඳහා අග්‍රාමාත්‍ය ධූරය හිමිකර ගනු ඇතැයි පුළුල් ලෙස අපේක්ෂා කෙරේ.
මේ වනවිට ඔහුගේ නායකත්වය යටතේ, ඉන්දියාව 21 වැනි සියවසේ ආර්ථික බලාගාරයක් බවට පත්වීමට සූදානමින් සිටියි. චීනය වෙනුවට විකල්පයක් සොයමින් සිටින ආයෝජකයන් හට ඉන්දියාව සුදුසු ඉහළ තේරීමක් බවට පත්වෙමින් තිබේ. බීජිං සහ බටහිර අතර සබඳතා වඩ වඩාත් පළුදු වෙමින් පවතින අතර, ඉන්දියාව බොහෝ ප්‍රධාන ආර්ථිකයන් සමඟ යහපත් සුබදායී සබඳතා පවත්වා ගනිමින් සිටියි. ඒ අතර රට තුළ කර්මාන්ත ශාලා පිහිටුවීම සඳහා ලොව විශාල සමාගම් ආකර්ෂණය කර ගනිමින් සිටියි. ඉතින්, බොහෝ දුරට දිළිඳු රටක් ලෙස පැවැති ඉන්දියාව 2014 දී මෝදි ප්‍රථම වරට බලයට පත්වූ දා සිට ප්රබෝධජනක ඉදිරි ගමනක යෙදී ඇති බව පෙනී යයි. 2023 දී ඉන්දියාවේ ආර්ථිකය එය ලොව පස්වැනි විශාලතම ආර්ථිකය බවට පත් කරමින්, ඩොලර් ට්‍රිලියන 3.7 ක්වූ අතර, ඒ අනුව මෝදිගේ පාලන සමයේ මුල් දශකය තුළ එම රට ලොව ආර්ථික ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන හතරක් ඉහළ ගොස් තිබේ.
මේ වනවිට ලැබී ඇති දත්ත අනුව ඉන්දියාව ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයන්ගෙන් එකකි. ඉන්දියාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය 2014 සහ 2023 අතර 55% කින් වර්ධනය වී ඇත. එම කාලය තුළ රට ලෝකයේ 9 වැනි විශාලතම ආර්ථිකයේ සිට පස්වැනි විශාලතම ආර්ථිකය දක්වා දිගු පිම්මක් ගසා ඇත. ඒ අනුව ලොව අනෙකුත් ප්‍රධාන ආර්ථිකයන්ට සාපේක්ෂව දළ දේශීය නිෂ්පාදිතයේ විශාලතම වර්ධනය ද අත්විඳින ලදී.
මේ වර්ධනය අනුව දකුණු ආසියාතික දැවැන්තයාගේ ආර්ථිකය ඉදිරි වසර කිහිපය තුළ අවම වශයෙන් 6% ක වාර්ෂික අනුපාතයකින් ප්‍රසාරණය වීමට ඉඩ පහසුව සැලසී තිබේ. නමුත් විශ්ලේෂකයන් පවසන්නේ එම රට ආර්ථික සුපිරි බලවතකු වීමට අවශ්‍ය නම් එය 8% හෝ ඊට වැඩි වර්ධනයක් ඉලක්ක කළ යුතු බවයි. මේ අතර ඉන්දියාවේ තිරසාර ප්‍රසාරණය අනුව සමහර නිරීක්ෂකයන් අනාවැකි පළ කර ඇත්තේ 2027 වන විට ඉන්දියාව ලෝකයේ විශාලතම ආර්ථිකයන් අතර එක්සත් ජනපදයට සහ චීනයට පමණක් පිටුපසින් අංක තුන බවට පත්වනු ඇති බවටය.