2024 මැයි 04 වන සෙනසුරාදා

ඇස්ට්‍රා සෙනෙකා එන්නතට එරෙහිව පවුම් මිලියන 100ක වන්දි නඩු 51ක්!

 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00 77

කොවිඩ් වෛරසයේ අවදානමෙන් මිදීමට භාවිත කළ ඇස්ට්‍රා සෙනෙකා එන්නතට එරෙහිව එංගලන්තයේ මහාධිකරණයේ නඩු 51ක් පවරා ඇත. ඇස්ට්‍රා සෙනෙකා එන්නත්කරණයට ලක්වීමෙන් සිය සෞඛ්‍ය තත්ත්වයට සිදුවූ හානියට වන්දි වශයෙන් පවුම් මිලියන 100ක වන්දියක් ඉල්ලා එම නඩු පවරා ඇත. එහිදී මෙම එන්නත දුර්ලභ රෝගාබාධවලට හේතු විය හැකි බව එංගලන්තයේ මහාධිකරණයට නිත්‍යනුකූල ලිපි ලේඛන ඉදිරිපත් කරමින් එහි නිෂ්පාදන සමාගමද පළමු වරට පිළිගෙන තිබේ.

ඇස්ට්‍රා සෙනෙකා ඖෂධ සමාගම ඉදිරිපත් කර ඇති අධිකරණ වාර්තාවට අනුව එම එන්නත මගින් අඩු මට්ටමක පවතින රුධිර පට්ටිකා සමඟ ඒකාබද්ධ වන රුධිර කැටි මොළය හෝ උදරය වැනි අසාමාන්‍ය ස්ථානවල කැටි ගැසීම් සිදුවිය හැකි තත්ත්වයක් වන ටීටීඑස් නොඑසේ නම් Thrombosis Thrombocytopenia Syndrome රෝගාබාධයට හේතු විය හැකි බවද පිළිගෙන තිබේ. එම සමාගම සිය වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයන්ට වුවද එම රෝගී තත්ත්වයට ගොදුරුවීමේ හැකියාව ඇති බවය. කොවිඩ් වසංගත සමයේදී ලොව පුරා කෝටි සංඛ්‍යාත ජනතාව ලබාගත් කොවිඩ් එන්නත් වර්ගවලින් හෘදය, මොළය හා රුධිර නාළිකා ආශ්‍රිතව දුර්ලභ රෝගාබාධ හටගැනීමේ අවදානමක් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර් යේෂණ සඳහා සහාය වන ග්ලෝබල් වැක්සින් ඩේඩා නෙට්වර්ක් ආයතනයේ පර් යේෂකයන්ද මීට මාස කිහිපයකට පෙර පළමු වරට හෙළි කර තිබිණි.