නොවැම්බරයේ ඇමෙරිකාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නට සිටින ට්‍රම්ප්ට එරෙහි නඩු කටයුතු තවමත් නිමා වී නැත. එහි අලුත්ම තත්ත්වය වාර්තා වූයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත, ඇමෙරිකන් ඩොලර් 9,000 ක දඩයක් නියම වීමත් සමගිනි.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක්වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවති බවටත්, එම සම්බන්ධය වසං කිරීමට ට්‍රම්ප්, ස්ටෝමි ඩැනියෙල්ට මුදල් ලබාදුන් බවටත් ට්‍රම්ප්ට චෝදනා එල්ල වී ඇත. එම චෝදනා සම්බන්ධයෙන්
නිව් යෝක් අධිකරණයක් හමුවේ නඩු විභාගයක් පැවැත්වෙයි. ට්‍රම්ප් පසුගියදා මෙම නඩු විභාගයට සම්බන්ධ සාක්ෂිකරුවන් ඇතුළු පිරිසක් ප්‍රසිද්ධියේ විවේචනය කළේය. ඒ ඔහුගේ සමාජ මාධ්‍ය ඔස්සේය. අධිකරණය දඩ නියම කළේ එම පිරිස විවේචනය කරමින් ට්‍රම්ප් අධිකරණයට අපහාස කළ බවටය. විනිසුරුවරයා පවසා ඇත්තේ, ඉදිරියටත් මෙලෙස අධිකරණයට අපහාස කළහොත්, ට්‍රම්ප්ට සිරදඬුවම් නියම කිරීමට පවා තමන් සූදානම් බවයි.