2024 මැයි 04 වන සෙනසුරාදා

චීනය 06 වැනි වරටත් සඳ වෙත යයි!

 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00 18

චීනය සිය අභ්‍යවකාශ ඉතිහාසයේ 06 වැනි වරටත් සඳ වෙත යාමට සමත්ව තිබේ. ඒ සඳහා ඔවුන් Chang’e-6 චන්ද්‍ර මෙහෙයුම දියත් කර හරින්නට කටයුතු කර ඇත. Chang’e-6 චන්ද්‍රයාගේ ඈත පැත්තෙන් මුල්වරට පස් සාම්පල රැගෙන ආපසු පැමිණීමට නියමිතය. මෙම Chang’e-6 මෙහෙයුමට දින 53ක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ ගමන යන Chang’e 6 චන්ද්‍ර ගවේෂණ යානය සහ එය අභ්‍යවකාශයට රැගෙන යන Long March-5 Y8 වාහක රොකට්ටුව 2024 අප්‍රේල් 27 වැනි දින චීනයේ හයිනාන් පළාතේ වෙන්චැං අභ්‍යවකාශ දියත් කිරීමේ ස්ථානයේ පීඨීකාව මත පිහිටුවන්නට කටයුතු කර තිබුණි. ඉතා නුදුරේදීම චීන කාර්ය මණ්ඩලයක් මුල්වරට සඳ මත ගොඩබෑමට සහ චන්ද්‍ර දක්ෂිණ ධ්‍රැවයේ ජනාවාසයක් ඇරුඹීම සඳහා අවශ්‍ය මූලික තාක්‍ෂණය පරීක්ෂාවන්ට මග පාදන මෙහෙයුම් තුනෙන් පළමුවැන්න ලෙස මෙය පිටත්ව යනු ඇත.

මේ අදියරේ දෙවැනි සහ තෙවැනි තැන ගත් Chang’e-7 සහ 8 මෙහෙයුම් පිළිවෙළින් 2026 සහ 2028 වනවිට පිටත් කිරීමට නියමිතය. ඒ ගමන් මගින් සඳ අඳුරු පැත්තේ ජලය මතුකර ගනිමින් රුසියාව සමඟ සඳ තොටුපළක් තනන චීනය 2030 වනවිට සිය චන්ද්‍රගාමීන් සඳ මතට යැවීමට අරමුණ කර ඇත.