2024 මැයි 04 වන සෙනසුරාදා

ආසියාව පුරා ගිනි රස්නය රටවල් ගණනක පාසල් වසා දමයි!

 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00 72

වසරේ උණුසුම ඉහළම මාස කිහිපය අතරට එල් නිනෝ බලපෑමද එක්වීම නිසා අග්නිදිග ආසියාව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් දැන් දැඩි උෂ්ණත්වයෙන් පීඩා විඳින බව නවතම වාර්තා පෙන්වා දෙයි. මේ අසාමාන්‍ය අධික උෂ්ණත්වය ආසියානු කලාපය පුරා අධ්‍යාපනයට කෘෂිකර්මයට සහ ජනතාවගේ එදිනෙදා රුකියාවන්ටද  බාධා එල්ල කර ඇත.

අප්‍රේල් සහ මැයි සාමාන්‍යයෙන් පිලිපීනයේ සහ අග්නිදිග ආසියාවේ අනෙකුත් රටවල උණුසුම්ම මාසයන්ය. නමුත් මෙම වසරේ උෂ්ණත්වය එල් නිනෝ බලපෑමෙන්ද නරක අතට හැරී ඇති අතර එමගින් කලාපයට වඩාත් උණුසුම්, වියළි තත්ත්වයක් උදා කර දී තිබේ. 

අසාමාන්‍ය ලෙස අධික උෂ්ණත්වය හේතුවෙන් පිලිපීනයේ පාසල් වැසීමට තීන්දු ගෙන ඇත. රටේ පළාත් 82 න් අඩක් නියඟයට මුහුණ දෙන අතර තවත් 31කට ආසන්න ප්‍රමාණයක් වියළි කාලගුණයට මුහුණ දී සිටී. බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ත් 42ත් අතර ඉහළ යාමත් සමඟ මේ සතියේ සියලුම පාසල් වසා දැමීමට සිදුවිය. මේ නිසා බංග්ලාදේශයේ දරුවන් මිලියන 33ක් පමණ පීඩාවට පත් වූහ.

තායි බලධාරීහු මේ වසරේ මේ දක්වා තාප ආඝාතයෙන් ප්‍රහාර ලත් පුද්ගලයන් 30 දෙනකු මිය ගොස් ඇති හෙයින් එළිමහන් ක්‍රියාකාරකම්වලින් වළකින ලෙස ජනතාවට අනතුරු ඇඟවූහ. සඳුදා රාත්‍රියේ විදුලි ඉල්ලුම මෙගාවොට් 35,830 ක නව ඉහළ මට්ටමකට පැමිණ තිබුණේ වායු සමීකරණ සහ පංකා දැඩි භාවිතය නිසාය. බැංකොක් අගනුවර, බදාදා දින උෂ්ණත්වය සෙල්සියස් අංශක 40.1 දක්වා ළඟා වූ අතර බලධාරීහු “තාප දර්ශකය” සෙල්සියස් අංශක 52 ඉක්මවා යා හැකි බවට අනතුරු ඇඟවූහ. මේ වනවිට මහා මැතිවරණයකට මුහුණ දී සිටින ඉන්දියාවේ තත්ත්වයද දරුණුය. එය 2023 තාප ප්‍රහාරය ඉක්මවා යන ලකුණු දැනටමත් පහළ කර හමාරය. ලෝක කාලගුණ විද්‍යා සංවිධානය මේ සතියේ වාර්තාවකින් අනතුරු ඇඟවූයේ ආසියාව “2023 සිට  කාලගුණය, දේශගුණය සහ ජලය ආශ්‍රිත උපද්‍රවයන්ගෙන් ලෝකයේ වඩාත්ම ආපදාවට ලක්වූ කලාපය” ලෙස පවතින බවයි.

 

 2024 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 02:00