2024 මැයි 11 වන සෙනසුරාදා

ස්ත්‍රී දූෂක මන්ත්‍රී පසුපස ලොව පුරා මහා හඹා යාමක්!

 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00 203

සිය ගණනක් ස්ත්‍රී දූෂණ සිදුකර ඒවා වීඩියෝගත කළ බවට චෝදනා එල්ල වූ ඉන්දීය නීති සම්පාදකයකු පසුපස මහා ගෝලීය හඹා යාමක් ඇරැඹී ඇත. 

එරට අගමැති සමඟ පවා සමීපව සිටි බව කියන ඉන්දීය මන්ත්‍රීවරයා කාන්තාවන් 400කට පමණ ලිංගික අතවර හෝ දූෂණය කළ බවට එල්ල වන චෝදනා මධ්‍යයේ මේ වනවිට ජර්මනියට පලා ගොස් ඇතැයි විශ්වාස කෙරෙයි. 

ප්‍රජ්වාල් රේවන්නා නමැති ඔහු හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය එච්.ඩී. දේවේගෞඩාගේ  මුණුපුරා වන අතර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් රටින් පිටව ගිය බව කියයි. මෙම 33 හැවිරිදි පුද්ගලයා සොයා ගැනීම සඳහා විශේෂ විමර්ශන කණ්ඩායමක් (SIT) ජාත්‍යන්තර පොලිසියේ පවා සහාය ඉල්ලා ඇති බව වාර්තා වේ. පසුගිය මාසයේ කර්නාටක ප්‍රාන්තයේ දකුණුදිග ප්‍රාන්තයේ විනෝද උයන්, වනෝද්‍යාන සහ බස් නැවතුම්පොළ ඇතුළු පොදු ස්ථානවල අතහැර දමා තිබූ ෆ්ලෑෂ් ඩ්‍රයිව් දහස් ගණනක් ජනතාව අතට පත්වීමෙන් නැගුණු ආන්දෝලනයෙන් පසු රේවන්නා පලා ගිය බව කියැවේ. ටයිම්ස් පුවත්පතට අනුව රේවන්නා විසින්ම රෑගත කරන ලද ස්ත්‍රී අපයෝජනයන්  පෙන්වන වීඩියෝපට මෙම ඩ්‍රයිව්වල අඩංගු වී තිබී ඇත.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය (BJP) සමඟ සන්ධානගතව සිටින ඔහු අයත් වූ ජනතා දාල් (අනාගමික) ‌හෙවත් JDS පක්ෂය පසුගිය සතියේ ඔහුට එරෙහිව නැගුණු චෝදනා මධ්‍යයේ රේවන්නාගේ වැඩ තහනම් කළේය. 

නමුත් ඔහුගේ කාර්යාලයේ නිලධාරියෙක් මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර එම දර්ශන වෛද්‍ය දර්ශන බවට ප්‍රකාශ කර ඇත. ඉන්දියාවේ සති හයක් පුරා පවතින මහා මැතිවරණය අතරතුරදී මෙම ආන්දෝලනාත්මක සිද්ධිය පුපුරා ගොස් ඇති අතර, මෝදිට සහ ඔහුගේ පක්ෂයට පහරදීම සඳහා විපක්ෂයේ පිරිස් මෙය යස ආයුධයක් සේ භාවිත කරති. "මෙය හුදු ලිංගික අපවාදයක් නොව සමූහ දූෂණයකි" යනුවෙන් විරුද්ධ පක්ෂය වන ඉන්දීය ජාතික කොංග්‍රසයේ රාහුල් ගාන්ධි පසුගිය සතියේ පැවති රුස්වීමකදී පැවසීය. මෝදි “සමූහ දූෂකයකුට සහාය දුන්” බවට ද ගාන්ධි චෝදනා කළ අතර මෝදි සහ ඔහුගේ පක්ෂය එම චෝදනා දැන සිටියද රේවන්නා සමඟ සන්ධානගත වූ බවට චෝදනා කළේය.

 2024 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 02:00