2024 මැයි 11 වන සෙනසුරාදා

ලොව තදින්ම උණුසුම් වන මහාද්වීපය!

 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00 129

යුරෝපය සාමාන්‍ය ගෝලීය උණුසුමට වඩා ආසන්න වශයෙන් දෙගුණයක් තරම් තදින් උණුසුම් වෙමින් ලොව වේගයෙන්ම උණුසුම් වන මහාද්වීපය (fastest-warming continent) බවට පත්ව ඇතැයි නවතම වාර්තාවක් පෙන්වා දී තිබේ. මේ නිසාම පුනර්ජනනීය බලශක්තිය සඳහා වඩාත් වැඩියෙන් ආයෝජනය කරන ලෙස එම වාර්තාව යුරෝපයෙන් ඉල්ලා ඇත.

එක්සත් ජාතීන්ගේ ලෝක කාලගුණ විද්‍යා සංවිධානය සහ යුරෝපා සංගමයේ දේශගුණ ඒජන්සිය වන Copernicus හි ඒකාබද්ධ වාර්තාවට අනුව, 2023 යුරෝපය සඳහා වාර්තා වූ දෙවැනි උණුසුම්ම වසර වන අතර, ඒ වාර්තාවට අනුව එම උණුසුම සාමාන්‍යයට වඩා 1.02-1.12°C  ක ඉහළ අගයක් වී ඇත. මේ අතර, යුරෝපය 2020 සිට වාර්තාගත උණුසුම්ම වසර තුන සහ 2007 සිට උණුසුම්ම වසර 10 වාර්තා කර ඇත. ඒ වාර්තාවට අනුව යුරෝපය, ග්‍රීන්ලන්තය, උතුරු ඇමෙරිකාව, අප්‍රිකාව, දකුණු ඇමෙරිකාව සහ නැගෙනහිර ඇන්ටාක්ටිකාව පුරා ඇති සියලුම භූමි ප්‍රදේශ පසුගිය වසරේ සාමාන්‍ය අගයට වඩා ඉහළ උෂ්ණත්වයක් අත්විඳ තිබේ.

මධ්‍යධරණී මුහුදේ සහ අත්ලාන්තික් සාගරයේ සමහර කොටස් ඔවුන්ගේ වාර්තාගත ලෙස උණුසුම්ම වූ වාර්ෂික සාමාන්‍ය උෂ්ණත්වය වාර්තා කිරීමත් සමඟ යුරෝපය පුරා සාමාන්‍ය මුහුදු මතුපිට උෂ්ණත්වය වාර්තාගත ඉහළම උණුසුමක් බව සඳහන්ව ඇත. සමස්තයක් ලෙස යුරෝපයේ සහ උතුරු ඇමෙරිකාවේ සහ තවත් ප්‍රදේශ කිහිපයක වාර්ෂික උෂ්ණත්වය සාමාන්‍යයට වඩා අවම වශයෙන් 1°C වැඩිව ඇති  බව මේ වාර්තාව පවසයි.