2024 මැයි 18 වන සෙනසුරාදා

ස්ලෝවැකියා අගමැතිට වෙඩි පිට වෙඩි!

 2024 මැයි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 51

ස්ලෝවැකියාවේ අගමැති ෆිකෝ ට එරෙහිව එල්ල වූ වෙඩි ප්‍රහාරය ලෝක නායකයන් සියලු දෙනාම පාහේ හෙළා දැක තිබේ. ස්ලෝවැකියාවේ අගමැති රොබට් ෆිකෝට එරෙහිව බදාදා ක්‍රියාත්මක වූ ඝාතන තැතකදී පිට පිට එල්ල වූ වෙඩි ප්‍රහාරයට ලක්ව බරපතළ ජීවිත අවදානමකින් යුතුව රෝහල්ගත වීමට සිදුවිය.

59 හැවිරිදි නායකයාගේ උදරයට වෙඩි තබා ඇත්තේ මධ්‍යම නගරයක් වන හැන්ඩ්ලෝවාහිදීය. රුස්වීමකට පැමිණි අගමැතිවරයා පිළිගැනීමට නගරයේ සංස්කෘතික මධ්‍යස්ථානයෙන් පිටත වීදියේ බලා සිටි කුඩා පිරිසක් අතර සැකකාර තුවක්කුකරුද සිට ඇත. පිට පිට එල්ල වූ ප්‍රහාරයෙන් යාන්තම් දිවි ගලවාගත් අගමැතිවරයා ප්‍රථමයෙන් ප්‍රාදේශීය රෝහලකට ප්‍රවාහනය කරන ලද අතර පසුව හෙලිකොප්ටරයකින් සැතපුම් 20 (කිලෝමීටර් 30) පමණ දුරින් පිහිටි Banska Bystrica හි ප්‍රධාන හදිසි අනතුරු කම්පන ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ගෙන යන ලදී. පොලිසිය එම ස්ථානය වටලා, සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

යුක්රේනයට ඇති බටහිර සහයෝගය විවේචනය කළ මොස්කව් හිතැත්තකු වන ෆිකෝ පසුගිය ඔක්තෝබර් මාසයේදී ස්ලෝවැකියාවේ අගමැති ලෙස තුන්වැනි වරටත් තේරී පත් විය. ෆිකෝ මීට පෙර දෙවතාවක් දශකයකට වැඩි කාලයක් ස්ලෝවැකියාවේ අගමැති ලෙස සේවය කළේය. පළමුව 2006 සහ 2010 අතරය. පසුව නැවතත් 2012 සිට 2018 දක්වාය.

Fico සහ ඔහුගේ පක්ෂය SMER වෙත ඍජුවම සම්බන්ධ පුද්ගලයන් ඇතුළු රටේ ප්‍රභූවරුන් සම්බන්ධ දූෂණයන් පිළිබඳව වාර්තා කළ ගවේෂණාත්මක මාධ්‍යවේදියකු වන Jan Kuciak සහ ඔහුගේ පෙම්වතිය වන Martina Kusnirova ඝාතනය සම්බන්ධයෙන් මතුව ආ සති කිහිපයක් පුරා පැවැති මහජන විරෝධතාවලින් පසුව 2018 මාර්තු මාසයේදී ඔහුට ඉල්ලා අස්වීමට සිදු විය. 

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩෙන් මේ වෙඩි තැබීම "බිහිසුණු ප්‍රචණ්ඩ ක්‍රියාවක්" ලෙස හෙළා දුටුවේය.

පුටින් පැවසුවේ මෙම ප්‍රහාරය "බිහිසුණු අපරාධයක්" බවයි. මෙම බිහිසුණු අපරාධය සාධාරණීකරණය කළ නොහැක. මම Robert Fico ව හඳුනන්නේ නිර්භීත සහ ශක්තිමත් මනසක් ඇති මිනිසකු ලෙසයි.

''මෙම දුෂ්කර තත්ත්වයෙන් බේරීමට මෙම ගුණාංග ඔහුට උපකාරී වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි'' යැයි ඔහු කියා තිබුණි.

යුරෝපීය කොමිසමේ සභාපතිනි උර්සුලා වොන්ඩර් ලේයන් “අගමැති රොබට් ෆිකෝට එල්ල වූ පහත් ප්‍රහාරය මම තරයේ හෙළා දකිමි. මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවලට අපේ සමාජය තුළ ඉඩක් නැති අතර මෙවන් සිදුවීම් ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලු කරයි.” යනුවෙන් කියා ඇත.

“ස්ලෝවැක් අගමැති රොබට් ෆිකෝට වෙඩි තැබීමෙන් කම්පනයට පත්වුණා. මම මේ ප්‍රහාරය තරයේ හෙළා දකිනවා.” යැයි ප්‍රංශ අගමැති එම්මානුවෙල් මැක්ලේන් කීය. එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ද ස්ලෝවැකියාවේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව එල්ල වූ ප්‍රහාරය තදින්ම හෙළා දුටුවේය.

නේටෝ ප්‍රධානී ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග්, ජර්මානු චාන්සලර් ඔලෆ් ෂෝල්ස්, ඉතාලි අගමැති ජෝජියා මෙලෝනි, හංගේරියානු අගමැති වික්ටර් ඕර්බන්, සර්බියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුසික්, යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි, තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්ඩෝගන්, ඔස්ට්‍රියානු චාන්සලර් කාල් නෙහමර් සහ ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය ද සිද්ධිය හෙළා දැක තිබුණි.

 

 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00