2024 මැයි 18 වන සෙනසුරාදා

සිංගප්පූරුවේ ’ලී ක්වාන් යූ’ යුගය අවසන්!

 2024 මැයි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 184

සිංගප්පූරුව කී පමණින් කාටත් මතකයට නැගෙන්නේ එරට ප්‍රගතියට උර දුන් ලී ක්වාන් යූ අගමැතිවරයාය. නූතන සිංගප්පූරුවේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන සහ වසර 25 ක් රට මෙහෙයවූ ලී ක්වාන් යූ එරට ප්‍රථම අගමැතිවරයාය. මෑත කාලයේ ඔහුගේ ප්‍රත්‍රයා රට පාලනය කළ අතර පසුගිය සතියේ ඔහු ඉල්ලා අස්විය. මේ තීන්දුවත් සමඟ සිංගප්පූරුවේ ‘'ලී ක්වාන් යූ’ යුගය අවසන් වී තිබේ.

1965 දී ස්වාධීන රාජ්‍යයක් බවට පත් වූ දා සිට සිංගප්පූරුවට සිටියේ අගමැතිවරුන් තිදෙනකු පමණි. ඒ තිදෙනාම පාලක මහජන ක්‍රියාකාරී පක්ෂයෙන් (PAP) එනම් ලී ක්වාන් යූ මහතාගේ පක්ෂයෙන් තේරී පත්වූ අයයි. 1959 සිට 1990 දක්වා රට පාලනය කළ පළමුවැන්නා වූයේ ලී ක්වාන් යූ මහතාය. 1990 සිට 2004 දක්වා ගො චොක් ටොන්ග් අගමැති විය. 2004 සිට මේ දක්වා අගමැති වූයේ ලී ක්වාන් යූ ගේ පුත් ලී සියෙන් ලූන්ග් ය. දැන් ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

වසර 20 ක බලයෙන් පසු, ලී මහතා නියෝජ්‍ය අගමැති සහ මුදල් අමාත්‍ය ලෝරන්ස් වොන්ග් වෙත නිල වශයෙන් පාලනය බාර දෙන බව සඳහන් කළේ ඉල්ලා අස්වෙමිනි. ලී පසු පෙළ මන්ත්‍රීවරයකු ලෙස දේශපාලනයට එක්වූයේ ඔහුගේ පියා බලයේ සිටියදීම 1984 වසරේදීය.

ඔහු 2004 දී සිංගප්පූරුවේ නායකත්වය ගැනීමට පෙර සිංගප්පූරුවේ දෙවැනි අගමැති ගෝ යටතේ කටයුතු කළේය. ඔහු බලයට පත්වූ පසු ඔහුගේ අධීක්ෂණය යටතේ, සිංගප්පූරුවේ ආර්ථිකය විවිධාංගීකරණය වී වර්ධනය විය. සිංගප්පූරුව ජාත්‍යන්තර මූල්‍ය බලාගාරයක් සහ ඉහළම සංචාරක ගමනාන්තයක් බවට පරිවර්තනය විය. එහි ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදිතය පසුගිය වසර 20 තුළ දෙගුණයකටත් වඩා වැඩි වී තිබේ. ගෝලීය මූල්‍ය අර්බුදය සහ කොවිඩ් වසංගතය හරහා රට නිසි ලෙස මෙහෙයවීම සම්බන්ධයෙන් ලී ගේ රජයට ගෞරවය හිමිවන බව විචාරක මතයයි.