2024 මැයි 25 වන සෙනසුරාදා

ඉරාන ජනාධිපති මරණය අනතුරක්ද? ඝාතනයක්ද?

 2024 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 151

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් මෙරට මහජනතාවට බාරදීම සඳහා ඉකුත් අප්‍රේල් මස මෙරටට පැමිණ ගිය ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි සිය රට ආසන්නයේ තවත් එබඳුම වූ වේලි ව්‍යාපෘති 02ක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වී නැවත පැමිණෙමින් සිටියදී ඔහු ගමන් ගත් හෙලිකොප්ටර් යානය අනතුරට ලක්වීම පිළිබඳ පුවත මෙරට මෙන්ම ලෝකය පුරාම දැඩි කම්පනයක් ඇති කළ සිදුවීමක් විය.

දින තුනක ශෝක කාලය අතර ඉකුත් සඳුදා එරට ප්‍රභූන්ගේ මැති ඇමැතිවරුන්ගේ හුදී ජනතාව දසදහස් ගණනකගේ දැඩි සෝ සුසුම් මැද ජනාධිපතිවරයා ඇතුළු අනතුරට ලක්වූ 9 දෙනකුගේ අවසන් ගමන රාජ්‍ය ගෞරව මැද සිදුවිය. මේ අනතුරට හේතුව පිළිබඳ ස්ථිර කරුණු තහවුරු කිරීමක් තවමත් ඉදිරිපත්ව නැත. ඒ නිසාම ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි මරණය අනතුරක්ද? ඝාතනයක්ද? යන විවිධ සැක සංකා මේ වනවිට පැතිර ගොස් තිබේ.

ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි ගමන් කළ හෙලිකොප්ටර් යානයට මේ අනතුර සිදු වී ඇත්තේ අසර්බයිජාන් දේශ සීමාවේදීය. අසර්බයිජානයේ නැගෙනහිර සහ බටහිර පළාත් ඉරානය සතුය. අසර්බයිජාන ජනාධිපති ඉල්හාම් අලියෙව් සමඟ එක්ව ජනාධිපති ඊබ්‍රහිම් රයිසි අසර්බයිජාන දේශසීමාවේ තිබූ චීස් ක්වොලාසී සහ කුඩාෆිරන් නමැති වේලි විවෘත කිරීමෙන් පසුව ඉරානයේ වයඹ දෙසින් පිහිටි ටබ්‍රිස් නගරයට ආපසු පැමිණෙමින් සිට ඇත. ජනාධිපතිවරයා සමඟ ඉරාන විදේශ අමාත්‍යවරයාද මෙහි සිට ඇත. ඉරාන ජනාධිපති සහ විදේශ අමාත්‍යවරයා ගමන් කළ හෙලිකොප්ටරය සමඟ එහි ආරක්ෂාවට තවත් හෙලිකොප්ටර් යානා දෙකක් ගමන් කර ඇති අතර ඒවා ඝන මීදුම මැද වුවද පසුව ආරක්ෂිතව ගොඩබෑ ටබ්රිස් බව නගර බලධාරීන් කියා තිබුණි.

ඉරාන විදේශ ඇමැති හොසේන් අමීරබ්ඩොල්ලාහියන්, නැ‍ගෙනහිර අසර්බයිජාන් ආණ්ඩුකාර මලික් රහ්මටි සහ වයඹදිග අසර්බයිජාන්හි ටබ්රිස් නුවර සිකුරාදා දේවමෙහෙය සිදු කළ ප්‍රධාන පූජක හොජ්ජටුල්ඉස්ලාම් අල් හෂීම් ඇතුළු ප්‍රභූ පිරිසක් අනතුර සිදුවන මොහොතේදී ජනාධිපතිවරයා සමඟ එකම හෙලිකොප්ටර් යානයේ සිටි බව  එරට රජයේ මාධ්‍ය තහවුරු කර තිබුණි. හෙලිකොප්ටර් යානය පිටත් වී පැය භාගයක් ඇතුළත මේ අනතුර සිදුවී ඇති බව පසුව වාර්තා විය. එම ස්ථානය වයඹ දිග අසර්බයිජාන් හි ටබ්රිස් නුවරට කිලෝමීටර් 50ක් දුරින් පිහිටි කඳුකර ප්‍රදේශයකි.

අධික වර්ෂාව සහ ඝන මීදුම් තත්ත්වය හේතුවෙන් නැගෙනහිර අසර්බයිජාන් පළාතේ හදිසි ගොඩබෑමකට උත්සාහ කිරීමේදී අනතුර සිදුවන්නට ඇතැයි ඉරාන රජය මුලින් විශ්වාසය පළ කර තිබූ අතර, අනතුර සිදුවූ ස්ථානය හඳුනා ගැනීමට සෝදිසි කණ්ඩායම් 16ක්, ඩ්‍රෝන නිරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් සමඟ පොලිස් සුනඛයන් රැගත් කණ්ඩායමක් දැඩි උත්සාහයක නිරත විය. ඒ අමතරව වෛද්‍ය කණ්ඩායමක් සමඟ ගිලන් රථ අටක්, ඉරාන හමුදාව, කොමන්ඩෝ බලකාය සහ විශේෂ කාර්ය බලකායට අයත් කණ්ඩායම් රුසක් ද එම ස්ථානයට යවා තිබුණි.

ඒ අතර ඉරාන ජනාධිපතිවරයා රැගත් හෙලිකොප්ටරය කඩා වැටුණු ස්ථානයේ කිසිදු ජීවී සලකුණක් ඉතිරිව නොමැති බව ඉරාන රාජ්‍ය රෑපවාහිනිය නිවේදනය කර තිබුණි. එසේම ඉරාන නිලධාරියකු උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර ඇත්තේ හෙලිකොප්ටරය අනතුරෙන් "සම්පූර්ණයෙන්ම පිළිස්සී" ඇති බවය. "ජනාධිපති රයිසිගේ හෙලිකොප්ටරය අනතුරින් සම්පූර්ණයෙන්ම දැවී ගිහින්... අවාසනාවකට වගේ, එහි සියලු මගීන් මිය ගොස් ඇතැයි අපි සැක පළ කරනවා" යැයි, එම නිලධාරියා කියා  තිබුණි.

1960 දෙසැම්බර් 14 වැනිදා ඉරානයේ මෂාඩ්, හි උපත ලැබූ ඉස්ලාමීය ලෝකයේ උසස් දේශපාලන හා ආගමික නායකයකු වන 63 හැවිරිදි ඉබ්‍රාහිම් රයිසි ඉරානයේ  අතිශය සාම්ප්‍රදායික දේශපාලන අදහස් දැරෑ දැඩි මතධාරී පූජකයකු ලෙස සැලකෙයි. ඔහු එරට අධ්‍යාත්මික නායක අයතුල්ලා කමේනිගෙන් පසු එම තනතුරට වඩාත්ම සුදුසුකම් දරා සිටි ජ්‍යෙෂ්ඨ පුද්ගලයා බවට සැලකෙයි.

රයිසි යනු ඉස්ලාම් අනාගත වක්තෘ මුහම්මද් නබි (සයිද්)තුමාගෙන් පැවත එන්නකු ලෙස සැලකෙන අතර මුහම්මද් නබිගේ මී මුනුපුරා සහ ෂියා ඉස්ලාමයේ සිව්වැනි ඉමාම් ලෙස සැලකෙන, අලි ඉබ්න් හුසේන් සයින් අල්-අබිදින්ගේ පෙළපතට සම්බන්ධතා දක්වන්නෙකි. ඒ අනුව ඔහු ආගමික නායකත්වයට උරුමය පාරම්පරික දරන්නෙකි.

රයිසි 2017 දී ඉස්ලාමීය විප්ලව බලකාය නමැති ජනප්‍රිය කොන්සර්වේටිව් පෙරමුණේ අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අතර හසන් රවුහානිට 57% සහ  38% ‌ලෙස පරාජය විය. නමුත් 2021 දී 63% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් රවුහානි  පැරදවීය. ඒ අනුව ඔහු ඉරානයේ ජනාධිපතිවරයා ලෙස 2021 වසරේ ජූනි මාසයේදී  අයතුල්ලා කමේනි විසින් පත් කරනු ලැබුවේ ඉරාන ඉස්ලාමීය ජනරජයේ අටවැනි ජනාධිපතිවරයා ලෙසටය.

ඊබ්‍රහිම් රයිසි ප්‍රමුඛ පෙළේ නීති විශාරදයෙකි. ටෙහෙරානයේ නියෝජ්‍ය නීතිපති බවට ඔහු පත්වූයේ යාන්තම් වයස අවුරුදු 25 පසුවන විටදීය. ඔහු 1980 සහ 1990 ගණන්වලදී ටෙහෙරානයේ නියෝජ්‍ය නීතිපතිවරයා සහ පසුව නීතිපති ලෙස ද කටයුතු කර තිබේ. 2014 වර්ෂයේදී ඉරානයේ නීතිපතිවරයා ලෙස පත් කිරීමට පෙර ඔහු ටෙහෙරානයේ අභිචෝදක, පසුව රාජ්‍ය පරීක්ෂක සංවිධානයේ ප්‍රධානියා සහ පළමු නියෝජ්‍ය අධිකරණ ප්‍රධානියා ලෙස ද සේවය කර ඇත. වාර්තා අනුව ඊබ්‍රහිම් රයිසි 2004–2014 දක්වා ඉරානයේ අධිකරණ පද්ධතියේ නියෝජ්‍ය අගවිනිසුරු ලෙසත්, 2014–2016 දක්වා නීතිපති ලෙසත් කටයුතු කර තිබේ. අනතුරුව 2019 වසරේදී ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා කමේනි විසින් ඔහුව අධිකරණ ප්‍රධානියා ලෙස නම් කළේය. 2019–2021 දක්වා අගවිනිසුරු පදවිය හෙබවීය.

ඔහු එරට 2006 පැවැති තීරණාත්මක මැතිවරණයෙන් ප්‍රථම වරට තේරී පත්වූ දකුණු කොරාසන් පළාතේ විද්වතුන්ගේ රුස්වීමේ සාමාජිකයෙකි.

කෙසේ වෙතත් ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ මරණය සැක සහිත බවට ජාත්‍යන්තර විචාරකයන් සහ මාධ්‍ය ගණනාවක්ම විවිධ මතවාද ඉදිරිපත් කර තිබුණි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජයේ ඉංග්‍රීසි භාෂා දිනපතා පුවත්පත වන ‘'ද නැෂනල්’ ට අනුව ඉරාන ජනාධිපතිවරයා ගමන් ගත් බෙල් 212 බොහෝ විට 1979 ඉස්ලාමීය විප්ලවයට පෙර ෂා රජු බලයේ සිටියදී 1970 ගණන්වල මිලදී ගත් එකක් විය හැකිය. මේවායේ නඩත්තු කටයුතු සඳහා අමතර කොටස් උපාංග ලබා ගැනීම අසීරුව තිබුණේ ඇමෙරිකානු සම්බාධක නිසා බව තවත් මාධ්‍ය පෙන්වා දෙයි. මේ හේතුවෙන් මෙම අනතුරට අනියමින් හෝ ඇමෙරිකාවද වගකිව යුතු බවට විවේචන එල්ල විය. ඉරානයට එරෙහි ඇමෙරිකානු සම්බාධක හේතුවෙන් ජනාධිපති රයිසි මියගිය ඉරිදා හෙලිකොප්ටර් අනතුරට ඉඩ සලසන මට්ටමට ගුවන් ගමන් ආරක්ෂාව නරක අතට හැරී ඇති බව රුසියානු විදේශ ඇමැති සර්ජි ලැව්රොව් පැවසීය. ඇමෙරිකාව තමන් මේ සිද්ධිය හා කිසිදු සම්බන්ධයක් නැති බව චෝදනාවක් එල්ල වන්නට පෙරම ප්‍රකාශ කර තිබුණි.

ගමනට සහභාගි වූ යානා තුනෙන් ජනාධිපතිවරයා ගමන් ගත් ඒ හෙයින්ම වඩාත් හොඳ තත්ත්වයක තිබිය යුතු වූ හෙලිකොප්ටරයම කඩා වැටීම ප්‍රධාන සැකයකට හේතු වී ඇත. මේ නිසා එම හෙලිකොප්ටරයම අරමුණු කර එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයක් ගැනද සැක පළ වී තිබේ. මේ අතර රට තුළ දේශපාලන හා ආගමික නායකත්වයේ අනුප්‍රාප්තිකයා බවට පත්වන්නට ඔන්න මෙන්න කියා සිටි ඊබ්‍රාහිම් රයිසි ඒ ස්ථානයට පත්වීම වැළැක්වීම සඳහා එල්ල කළ සැලසුම් සහගත ප්‍රහාරයක්ද යන සැකයද මතුව තිබුණි.

විය යුතු පරිදි බොහෝ දෙනාගේ සැකය වහාම යොමුවූයේ ඊශ්‍රායලය දෙසටය. අඬන්න සිටි අයගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නාක් බඳුව ඊශ්‍රායලයද මේ සිදුවීම වාර්තා වූ වහාම ‘තමන් මෙයට කිසිසේත්ම සම්බන්ධ නැති^ බවට ප්‍රකාශයක් කඩිනමින් නිකුත් කර තිබුණි. මේ හදිසි ප්‍රකාශයම ඔවුන්ට එරෙහි සැකයේ වර්ධනයට හේතු වී තිබේ. එමෙන්ම කල දුටු කල වළ ඉහගත්තාක් බඳුව ඊශ්‍රායලය, ඉරාන හිතැති සටන් කණ්ඩායම්වල මර්මස්ථාන වෙත මේ අලකලංචිය මැදම දැඩි විනාශකාරී ප්‍රහාරයක් එල්ල කරන්නට කටයුතු කර තිබුණි. මෑත කාලීනව ඇවිල ගිය  ඊශ්‍රායල් - ඉරාන ගැටුමේ තදබල තීන්දු තීරකයකු ලෙස කටයුතු කළ ඊබ්‍රාහිම් රයිසි ඉවත් කිරීමේ දැඩි වුවමනාව “මොසාඩ්” සතුව තිබූ බව විචාරකයෝ පෙන්වා දෙති. ඒ සඳහා ඉතාමත් සුදුසුම අවස්ථාවක් සහ පරිසරය ඊබ්‍රාහිම් රයිසිගේ මෙම අරපරිස්සම් රහිත ගමන මගින් උදා කර දුන්නාද යන සැකය මතුව තිබේ. අලුතෙන්ම ඉදිරිපත් වූ සැක සහිත අනුමානය එල්ල වන්නේ උඩුගුවනේ සිට නිශ්චිත එල්ලයක් කරා මැනිය හැකි ලේසර් කදම්භ ප්‍රහාරයක් වෙතය. ඒ තාක්ෂණයේ දියුණුම රට ඊශ්‍රායලය බව නොරහසකි.

කෙසේ වුවද‌ මේ වනවිට ඉරානය සිය රටේ පාලනය යථාවත් කර ගැනීමට කඩිනමින් ක්‍රියා කර ඇත. එරට ව්‍යවස්ථානුකූලව 2021 අගෝස්තු මාසයේ සිට ඉරානයේ උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන 68 හැවිරිදි මොහොමඩ් මොක්බර් ඉරානයේ අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර ඔහු මුලින් උපරිම වශයෙන් දින 50 ක කාලයක් සේවය කරනු ඇති බව උත්තරීතර නායකයා තහවුරු කර තිබේ.

අන්තර්වාර ජනාධිපති ලෙස, මොක්බර් මහතා පාර්ලිමේන්තුවේ කතානායකවරයා සහ අධිකරණ ප්‍රධානියා සමඟින් ත්‍රිපුද්ගල කවුන්සිලයක සාමාජිකයකු වන අතර ඔවුන්ගේ පාලනයට අයත් දින 50ක කාලය තුළ නව ජනාධිපතිවරණයක් සංවිධානය කරනු ඇත.

I සුගත් පී. කුලතුංග ආරච්චි