2024 ජුනි 01 වන සෙනසුරාදා

ඉරාන මහ පුටුවට ඊබ්‍රහිම් රයිසි වෙනුවට එන්නේ කවුද?

 2024 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 82

ඉරානය නව ජනාධිපතිවරයකු තෝරා ගැනීම සඳහා ජූනි 28 වැනිදා ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය. ඒ සටනින් දිනන්නේ කවුද? මේ වනවිට ඡන්ද අපේක්ෂකයන් ගණනාවක් ගැන තතු ඉදිරිපත්ව හමාරය. මේ අය අතරින් ඉරාන නව ජනාධිපතිගේ ආගමනය දෙස මේ වන විට මුළු ලොවම අවධානය යොමුව ඇත.

වයඹදිග ඉරානයේ කඳුකර ප්‍රදේශයකට 2024 මැයි 20 දින මීදුම් තත්ත්වය මධ්‍යයේ  ගමන්ගත් සිය හෙලිකොප්ටරය කඩා වැටීමෙන් ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි, ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්-අබ්දුල්ලාහියන් සහ අනෙකුත් නිලධාරීන් මිය යාමෙන් පසුව පැවැති ශෝක කාලය අවසන, දැන් ඊබ්‍රාහිම් රයිසිගේ අනුප්‍රාප්තිකයා තෝරා ගැනීම සඳහා ව්‍යවස්ථානුකූලව මැතිවරණය කැඳවා තිබේ. ඒ අතර කාලයට රයිසිගේ උප ජනාධිපති ලෙස සිටි මොහොමඩ් මොක්බර් ඔහුගේ අභාවයෙන් පසු තාවකාලිකව  ජනාධිපති ලෙස නම් කරන ලදී.

ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි සමඟ සමීප සබඳතා ඇති කිහිප දෙනකු ඇතුළුව, ඉදිරි ඉරාන ජනාධිපතිවරණයේ අනුප්‍රාප්තිකයන් ලෙස දැන් තරගකරුවන් රැසක් මතු වී ඇත. පහත දැක්වෙන්නේ ඒ අතරින් කැපීපෙනෙන ප්‍රධාන චරිත කිහිපයකි.
අභාවප්‍රාප්ත ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි වෙනුවට හිටපු උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානී අලි ෂම්ඛානි සුදුසු අපේක්ෂකයකු ලෙස වාර්තා වී ඇත. ෂම්ඛානි 2013 සිට පසුගිය වසරේ ඉල්ලා අස්වන තෙක් එම තනතුරේ කටයුතු කළේය. මධ්‍ය මතවාදියකු ලෙස සැලකෙන ඔහු 2023 මාර්තු මාසයේදී ඉරානය සහ සෞදි අරාබිය අතර සබඳතා නැවත ආරම්භ කළ ඉතිහාසගත ගිවිසුම අත්සන් කළේය.

මේ අතර තරග වදින බවට සැලකෙන අය අතර හිටපු පාර්ලිමේන්තු කථානායක අලි ලරිජානිගේ නමද කියැවේ. අනෙකුත් ඉරාන ගතානුගතික ප්‍රධානීන් හා සසඳන විට ලාරිජියානි බොහෝ විට මධ්‍යස්ථ සහ ප්‍රතිසංස්කරණවාදියකු ලෙස විස්තර කෙරෙන අතර 2008 සිට 2020 දක්වා ඔහු කථානායක ලෙස සේවය කළේය. ඔහු 2005 මැතිවරණයට ඉදිරිපත් වී පරාජය වූ අතර 2021 දී නුසුදුස්සෙක් විය.

දැන් බලය තාවකාලිකව දරන රයිසිගේ උප ජනාධිපති ලෙස සිටි මොහොමඩ් මොක්බර් ද සුදුසු අපේක්ෂකයකු සැලකේ. 2021 දී පළමු උප ජනාධිපති වීමට පෙර, ඔහු සෙටාඩ් ලෙසද හැඳින්වෙන ඉමාම් කොමේනිගේ නියෝග ක්‍රියාත්මක කිරීමේ සංවිධානයේ  ප්‍රධානියා විය. දේපල අත්පත් කර ගැනීම හරහා කමේනි වෙනුවෙන් දැවැන්ත මූල්‍ය අධිරාජ්‍යයක් ගොඩනැගූ බවට එම සංවිධානයට චෝදනා එල්ල වී තිබේ.

කමේනිට සමීප දැඩි මතධාරියකු වන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බාගර් ගලිබාෆ්ගේ නමද තවත් අපේක්ෂකයකු‌ ලෙස කියැවේ. ඔහු පසුගියදා පාර්ලිමේන්තු කථානායකවරයා ලෙස නැවත තේරීපත් වීම විශේෂත්වයකි.

උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ කමේනි නියෝජනය කරන සයීඩ් ජලිලි ද ඉකුත් ගිය ඉරිදා සිය අපේක්ෂකත්ව මනාපය ප්‍රකාශ කර තිබුණි. ජලිලි මීට පෙර 11% කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් 2013 දී තරග කළේය. ඔහු 2021 මැතිවරණයේදී රයිසිගේ නැගීම අනුමත කරමින් තරග බිමෙන් ඉවත් වූයේය.

ප්‍රතිසංස්කරණවාදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන මසූද් පෙසෙෂ්කියන්, Masoud Pezeshkian ඉරිදා නිවේදනය කළේ ඔහු ද තරග කරන බවයි. මසූද් 2021 දී තරගයට පිවිසීමට උත්සාහ කළ නමුත් ඔහුගේ ඇප ප්‍රතික්ෂේප විය. 
ලන්ඩනය පදනම් කරගත් ඉරාන ජාත්‍යන්තරය අඟහරුවාදා මසූද් ගැන විස්තර කළේ “ප්‍රතිසංස්කරණවාදීන් කිහිප දෙනාගෙන් කෙනකු” ලෙසය. ඔහු 2001 සිට 2005 දක්වා එවකට ජනාධිපති මොහොමඩ් කටාමි යටතේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

මෙම ප්‍රධාන චරිත හැර අනෙකුත් අපේක්ෂකයන් අතරට, හිටපු ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) නිලධාරි පර්විස් ෆටා, මෙන්ම ටෙහෙරාන් නගරාධිපති අලිරේසා සකානි සහ මාර්ග අමාත්‍ය Mehrdad Bazrpash වුවද තරග කිරීමට ඉඩ ඇති බව වාර්තා වී තිබේ.

හිටපු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Sadegh Mahsouli මැතිවරණයට ඉදිරිපත් විය හැකි බවට ද වාර්තා පවතී. මාසෝලි 2008 සිට 2009 දක්වා හිටපු ජනපති අහමදිනෙජාඩ් යටතේ සේවය කළ අයෙකි.

හිටපු විදේශ අමාත්‍ය මොහොමඩ් ජාවඩ් සරීෆ් සහ හිටපු ජනාධිපතිවරුන් වන මහමුද් අහමදිනෙජාඩ් සහ හසන් රවුහානි ඇතුළු හුරුපුරුදු මුහුණු කිහිපයක් ද මේ තරගයට ඇතුළත් විය හැකි බව වාර්තා වේ. 2017 සිට 2021 දක්වා හසන් රවුහානි යටතේ සන්නිවේදන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මොහොමඩ්-ජාවාඩ් අසාරි-ජහෝරිගේ නමද තවත් විභව අපේක්ෂකයකු ලෙස කියැවේ. 

නමුත් සියලුම ජනාධිපති අපේක්ෂකයන් අධ්‍යාත්මික නායක කමේනි පාලනය කරන ඉහළ ‘ගාඩියන්’ කවුන්සිලය විසින් අනුමත කළ යුතුය.