2024 ජුනි 08 වන සෙනසුරාදා

මෙක්සිකෝවේ නගරාධිපතිනියකට වෙඩි ප්‍රහාරයක්!

 2024 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 51

බටහිර මෙක්සිකෝවේ මිචාඕකැන් ප්‍රාන්තයේ කොටිජා නුවර නගරාධිපතිනිය වන යොලන්ඩා සැන්චේස් ෆිගරෝවා සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තබා ඝාතනයට ලක්කර ඇත. මෙක්සිකෝවේ පළමු වතාවට කාන්තාවක් ජනාධිපති ධුරයට පත්වීමේ උණුසුම මැකී යෑමටත් පෙර නාඳුනන පිරිසක් විසින් මෙම ඝාතනය සිදු කර ඇත. ඇය සිය ආරක්ෂක නිලධාරියා සමඟ ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානයේ සිට නිවෙස බලා යමින් සිටියදී එම වෙඩි ප්‍රහාරයට ලක් වී ඇති බව වාර්තා වේ.

වෙඩි ප්‍රහාරයට ලක්ව රෝහල්ගත කිරීමෙන් පසු දෙදෙනාම ජීවිතක්ෂයට පත්වී ඇත. ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති නමුත් තුවක්කුකරුවන් සංවිධානාත්මක අපරාධ කණ්ඩායමකට අයත් අය බවට බොහෝ දෙනාගේ මතය වී තිබේ.

2021 සැප්තැම්බරයේ බලයට පත්වීමෙන් පසු දා සිටම සැන්චෙස් මහත්මියට මරණ තර්ජන එල්ල වී ඇති බව වාර්තා විය. 2023 වසරේ අසල්වැසි ජලිස්කෝ ප්‍රාන්තයේ සංචාරයක යෙදී සිටියදී සන්නද්ධ පුද්ගලයන් විසින් ඇයව දින තුනක් රඳවාගෙන සිට තිබුණි.