2024 ජුනි 08 වන සෙනසුරාදා

ඉන්දියාවේ බලය නැවතත් මෝදිට!

 2024 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 47

ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස නරේන්ද්‍ර මෝදි තුන්වැනි වරටත් දිවුරුම් දුන්නේය. ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, භූතානයේ රජතුමා මෙන්ම බංග්ලාදේශය, නේපාලය සහ මොරීෂස් දිවයිනේ අගමැතිවරු මෙම අවස්ථාවට සහභාගි වූහ. මෝදි රජයේ සන්ධානගත පක්ෂ නායකයන් වන ඉන්දියාවේ රජුන් තනන්නන් ලෙස ප්‍රකට තෙළිඟු දේසම් පක්ෂයේ සහ ජනතා දාල් පක්ෂයේ නායකයෝද මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.

මෝදි සිය භාරතීය ජනතා පක්ෂය මෙහෙයවමින් ඉතිහාසයේ වාර්තාගත ලෙස රටේ තුන්වැනි වතාවටත් අගමැති ධුරය උදාකර ගත්තේ නිදහස් ඉන්දියාවේ අගමැති ජවහල්ලාල් නේරුගෙන් පසුවය. 18 වැනි ලෝක් සභාවේ 16 වැනි අගමැතිවරයා ලෙස තේරීපත් වුවද මේ 2024 මැතිවරණ ප්‍රතිඵලය මෝදි බලාපොරොත්තු වූවාට වඩා හාත්පසින්ම වෙනස් වූවකි. රජයක් පිහිටුවීම සඳහා මෝදි හට තෙළිඟු දේසම් පක්ෂයේ සහ ජනතා දාල් පක්ෂය ප්‍රමුඛ සන්ධානයක සහාය පතන්නට සිදුවූයේ ඔහු බලාපොරොත්තු වූ අන්දමට ආසන 400 සීමාව වෙනුවට 240 කින් සෑහීමකට පත්වීමට සිදුවීමත් සමඟිනි. ඒ අනුව රජයක් පිහිටුවීමට අවශ්‍ය ආසන 272 සම්පූර්ණ කිරීම සඳහා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය NDA ලෙස මැතිවරණයට ඉදිරිපත් වූ සෙසු පක්ෂ සමඟ එක්ව පාර්ලිමේන්තු ආසන 293 ක් සම්පූර්ණ කර ගැනීමට සිදුවිය. මේ සමඟම ප්‍රධාන සහායක පක්ෂ දෙකේ නායකයන්ගේ කේවල් කිරීම් පිළිගැනීමට මෝදි හට සිදුව තිබේ. මෝදි සමඟ සන්ධානගත වූ දකුණු දිග ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ තෙළිඟු දේසම් පක්ෂය (TDP) සහ බිහාර් ප්‍රාන්තයේ සිට ක්‍රියාත්මක ජනතා දාල් (එක්සත්), JD (U) පක්ෂ දැන් මස් රාත්තලම ඉල්ලා සිටින බවට මාධ්‍ය විචාර මගින් පෙන්වා දී තිබුණි. දකුණු දිග ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයට සහ බිහාර් ප්‍රාන්තයට වැඩි වාසි සහිත අවධානයක් මෙන්ම ප්‍රධාන පෙළේ ඇමැති ධුර 10 කට ආසන්න සංඛ්‍යාවක් අවශ්‍ය බවට මෙ පක්ෂ සන්ධානගත වීමේදීම දන්වා තිබුණි. මෝදි හට අවශ්‍ය ආසන දිනා ගැනීමට නොහැකි වූවා සේම ප්‍රධාන විපක්ෂය බවට පත්ව ඇති රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුතු ඉන්දියා කොංග්‍රසය ඇතුළු පක්ෂ 24 කට වැඩි ගණනක් එකතු වූ INDIA සන්ධානයටද බලාපොරොත්තු වූ තරමේ ජයක් ලබා ගැනීමට හැකිව නැත. ඔවුන් හට හැකිවූයේද ආසන 232 ක් එක්කර ගැනීමටය. භාරතීය ජනතා පක්ෂයට ප්‍රධාන අභියෝගකරුවා වන්නේ ද ඉන්දීය ජාතික කොංග්‍රසයයි. ඔවුන් නිදහසින් පසු වසර 77ක කාලයක් රට පාලනය කළ නමුත් දැන් භාරතීය ජනතා පක්ෂයේ මෝදිගේ ජනකාන්ත නැගීමෙන් පසු එය අවුල් සහගත තත්ත්වයකට පත්ව ඇත.

ඒ අනුව මෙම මැතිවරණය බොහෝ දෙනා විසින් මෝදිගේ පාලන දශකය පිළිබඳ ජනමත විචාරණයක් ලෙස සැලකූ අතර, එම කාලය තුළ ඔහු ඉන්දියානු ජීවිතයේ බොහෝ පැති පරිවර්තනයට ලක් කර තිබුණි. ඔහුගේ සටන් පාඨය වූයේ ඉන්දියාව ලොව ආර්ථික බලවතා කරන බවය. එසේ වුවද මෝදිගේ පුරුදු තරග බිම වූ වරානාසියේදී මෙවර ඡන්දය පසුබෑමකට ලක්ව තිබුණි. අයෝධ්‍යාවේද භාරතීය ජනතා පක්ෂය පරාජයට පත්වූ අතර මීට මාස කිහිපයකට පෙර මෝදි එහි මතභේදාත්මක හින්දු කෝවිලක් පවා විවෘත කළේය.

1951/52 වසරේ මාස 05 කට ආසන්න කාලයක් ගතවූ ඉන්දියානු මුල් මැතිවරණයෙන් පසු පැවැත්වූ විශාලතම මැතිවරණය මෙයයි. මේ සඳහා දින 44ක් ගතව තිබූ අතර නව ඡන්ද දායකයන් සමඟ මිලියන 969ක් හෙවත් දළ වශයෙන් ගෝලීය ජනගහනයෙන් අටෙන් එකක් මෙවර මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සමත් වී ඇත. මේ නිසාම මෙය ඉතිහාසගත වන මහා මැතිවරණයකි. වයස 25 වූ තරුණ මන්ත්‍රීවරියන් 4ක් ද ලෝක් සභාවට මෙවර තේරී ඇත. එමෙන්ම මෙවර කාන්තා ඡන්ද දායකත්වය ද තීරණාත්මක කාරියක් ඉටුකර තිබුණි.

2024 මැතිවරණ ප්‍රතිඵල සහ කෙවල්කාර දේශපාලනඥයන්ගේ ඉල්ලීම් කෙසේ වුවද සමස්ත ඉන්දියාවේ ව්‍යවස්ථාවේ වෙනසකට මෙය බලපෑමක්ව නැත. රටේ ආර්ථිකය, දිගුකාලීන ව්‍යාපෘති, වෙළෙඳ ගිවිසුම්, විදෙස් ප්‍රතිපත්තිය, අධ්‍යාපන සේවා, අධිකරණය වැනි ප්‍රධාන පාලන ක්ෂේත්‍රයන්හි වෙනසක් සිදු නොවනු ඇත.

 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00