2024 ජුනි 15 වන සෙනසුරාදා

බයිඩ්න්ගේ පුත්‍රයා වරදකරු වෙයි!

 2024 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 59

ගිනි අවියක් මිල දී ගැනීමේදී තමන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටීම හෙළිදරව් නොකිරීම හේතුවෙන් එරට ෆෙඩරල් නීතිය යටතේ වරදකරු ලෙස පවරනු ලැබූ නඩුවෙන් ඇමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පුත්‍රයා වන හන්ටර් බයිඩ්න් වරදකරු බවට තහවුරු විය. ඩෙල්වර් ප්‍රාන්තයේ අධිකරණයේ පැවති එම නඩු විභාගයේ දී ගොනු කර තිබූ චෝදනා තුනටම බයිඩ්න්ගේ පුත්‍රයා වරදකරු බවට 12 දෙනකුගෙන් සමන්විත ජූරි සභාව ඒකමතිකව තීන්දු කර තිබුණි. ඇමෙරිකානු ඉතිහාසයේ ධුරයේ සිටින ජනාධිපතිවරයකුගේ දරුවකු අපරාධ චෝදනා යටතේ විත්තිකරුවකු බවට පත්වූ පළමු අවස්ථාව වන බව ද වාර්තා වේ.

54 හැවිරිදි හන්ටර් බයිඩ්න් වසර 2018 වසරේ අත් තුවක්කුවක් මිල දී ගැනීමේදී ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඇති අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවකු බව සැඟවීමට කටයුතු කර ඇතැයි අධිකරණයේ දී තහවුරු වී තිබේ. ඔහුගේ දඬුවම ඉදිරියේ දී ප්‍රකාශ කිරීමට නියමිත අතර, එය වසර දෙකක සිරදඬුවමක් වනු ඇතැයි ද වාර්තා වේ. සිය පුත්‍රයාට එරෙහිව අධිකරණය දුන් තීන්දුවට ගරු කරන බව ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර ඇත. ෆෙඩරල් පසුබිම් පරීක්ෂාවක දී ඔහුගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බොරු කීම සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටියදී තුවක්කුවක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වූ   චෝදනා දෙකකට හන්ටර් බයිඩෙන් වරද පිළිගත්තේ නැත.