2024 ජුනි 22 වන සෙනසුරාදා

ලොව න්‍යෂ්ටික බලය රත්තන් අතේ!

2024 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00132

චීන න්‍යෂ්ටික අවි ගබඩාව සතුව දැන් න්‍යෂ්ටික බෝම්බ 500 කට වැඩි ප්‍රමාණයක් ඇති බවත් නව අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිල සංවර්ධනය කරමින් ඇති බවත් රහස් වාර්තාවක් පෙන්වා දෙයි. ඒ අනුව චීනය සිය න්‍යෂ්ටික අවි ගබඩාව ලොව වෙනත් ඕනෑම ප්‍රධාන යුද බලවතකුට වඩා වේගයෙන් ව්‍යාප්ත කරමින් සිටින බව එය කියයි.

ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර් යේෂණ ආයතනය සඳුදා ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක පළ කර ඇත්තේ ෂීජින් පින් එක් වසරක් තුළ තම රටේ න්‍යෂ්ටික තොග 410 සිට 500 දක්වා වැඩි කර ඇති බවයි. ඉදිරි දශකය තුළ චීනය සිය න්‍යෂ්ටික බල ශක්තිය වේගයෙන් නවීකරණය කිරීම, විවිධාංගීකරණය කිරීම සහ ව්‍යාප්ත කරනු ඇතැයි පෙන්ටගනය ද ඉකුත් සතියේ කොංග්‍රසයට ඉදිරිපත් කළ වාර්තාවක පෙන්වා දී තිබුණි.

පෙන්ටගනය ඇස්තමේන්තු කරන්නේ 2030 වන විට චීනයේ න්‍යෂ්ටික යුධ හිස් 1,000 කට වඩා වැඩි ප්‍රමාණයක් තිබෙනු ඇති බවයි.

මේ අතර උතුරු කොරියාව ද සිය අවි ගබඩාව වැඩි කර ඇති අතර, එක් වසරක් තුළ බෝම්බ 30 සිට 50 දක්වා වැඩි කර ඇති අතර, එය 40% ක වැඩිවීමකි.

මේ වනවිට ලෝකයේ න්‍යෂ්ටික බලය සහිත රටවල් 09ක් පවතී. මෙම න්‍යෂ්ටික රාජ්‍ය නවය - එක්සත් ජනපදය, රුසියාව, එක්සත් රාජධානිය, ප්‍රංශය, චීනය, ඉන්දියාව, පකිස්ථානය, උතුරු කොරියාව සහ ඊශ්‍රායලයයි. ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර් යේෂණ ආයතනය SIPRI ට අනුව, 2024 ජනවාරි මාසය වනවිට දී, සමස්ත ගෝලීය යුධ හිස් තොගය 12,121ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, ඉන් 9,585ක් පමණ   හමුදා ගබඩාවල තිබුණි. මේ වන විට යුධ හිස් 5,580ක් සහිත රුසියාව ලෝකයේ ඉහළම න්‍යෂ්ටික තාක්ෂණය ද දරන බලවතාය. ඇමෙරිකාව සතු න්‍යෂ්ටික බෝම්බ 5,044ක් වන අතර අනෙකුත් සියලුම රටවල් සතුව ඇත්තේ 400 කට ආසන්න  ප්‍රමාණයකි. මේ අනුව චීනයේ අලුත්ම බලවත් වීමත්, උතුරු කොරියාවේ නැගීමත් සහ රුසියාව සමඟ මේ රටවල් දෙකෙහි කල්ලි ගැසීම මෑතක සිට දැඩිව තහවුරු වීමත්  යන කරුණු අනුව මේ වන විට ලොව න්‍යෂ්ටික බලය රත්තන් අතට පත්වෙමින් ඇති බව පෙනී යයි.