2024 ජුනි 22 වන සෙනසුරාදා

Voyager I යළි මහ පොළොව අමතයි

 2024 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00 93

පසුගිය වසරේ අබලන් වූ Voyager I අභ්‍යවකාශ යානයේ දත්ත සම්ප්‍රේෂණ පද්ධති බලගන්වා ඇතැයි NASA ඉංජිනේරුවෝ පවසති. ඔවුහු අවසානයේ එහි ඇති විද්‍යා උපකරණ හතරෙන්ම දැන් සංඥා ලබා ගන්නට සමත් වී ඇති බව කියති. ඒ අනුව පෘථිවියේ සිට සැතපුම් බිලියන 15ක් ඈත සිට Voyager I දැන් නැවතත් මහ පොළොවට තොරතුරු ලබා දේ.


වොයේජර් 1 හි අඩපණව තිබූ විද්‍යා උපකරණ හතරෙන් දෙකක් මැයි මාසයේදී භාවිත කළ හැකි දත්ත නැවත ලබා දීම ආරම්භ කළ අතර, තවදුරටත් ප්‍රතිසංස්කරණයට ලක් වූ පසුව, හතරම දැන් නැවත හොඳින් කටයුතු කරන බව ඒජන්සිය පවසයි. සූර්ය ගෝලයෙන් පිටත - සූර්යයාගේ චුම්බක ක්ෂේත්‍ර සහ සුළං මගින් නිර්මාණය කරන ලද ආරක්ෂිත බුබුලට එපිටින් පිහිටි අන්තර් තාරකා අවකාශය තුළ දැන් Voyager I තවත් ඈතට යමින් තිබේ. ඉංජිනේරුවන්ට ඔවුන්ගේ විධානයන් Voyager I වෙත යැවීමට පැය 22.5 ක් සහ ප්‍රතිචාර සඳහා තවත් පැය 22.5 ක් බලා සිටීමට සිදු වේ.

වොයේජර් 1 සහ එහි ද්විත්ව ගවේෂණ යානය වන වොයේජර් 2 වසර 47 කට ආසන්න කාලයක් අභ්‍යවකාශය හරහා ගමන් කරමින් සිටියි. ඒ අනුව Voyager යනු NASA හි දීර්ඝතම කාලයක් ධාවනය වන අභ්‍යවකාශ යානයයි. මිනිසා විසින් සාදන ලදුව දැනට විශ්වයේ වඩාත්ම දුරස්ථව ක්‍රියාකාරීව පවතින වස්තූන් ද වේ.