ධීවර රැකියාව එසේ මෙසේ රැකියාවක් නොවේ. දවස් ගණන් මාස ගණන් කරදිය සමඟ පොර බඳින ධීවර ජනතාව, වෙළෙඳපොළේ මාළු මිල සමඟ කෝටිපතියන් යැයි සිතුවත් ඇත්තටම ඔවුහු දුප්පත් අහිංසකයෝ වෙති. මේ නිසාම ධීවරයන්ට සුබ අනාගතයක් නැත. අධ්‍යාපනය වෙනුවට ඔවුන් පරම්පරාගත ධීවරයන් බවට පත්වනුයේ ඒ රැල්ලට ඔවුන්ගේ ජීවිත සදාතනිකව හසුවී ඇති බැවිනි. මරණයත් ජීවිතයත් රැගෙන දියඹට යන ධීවරයන්ගේ ජීවිතය සැබැවින්ම අවිනිශ්චිතය. ඒ නිසා නැවත එන්නට හැකිවේද යන සැකය නිසාම බොහෝ ධීවර යාත්‍රා විවිධ රස මසවුළුවලින් පුරවාගෙන යාම සිදුවේ. එහෙත් ධීවරයෝ මත්පැන් රුගෙන නොයති. එලෙස මත්පැන් අරගෙන නොයන්නේ බොහෝවිට ආතතිය මධ්‍යයේ මත්පැන් පානය කිරීමෙන් පසුව යාත්‍රාව තුළ ඇතිවන ගැටලු, ගහමරා ගැනීම් වැඩිවන බැවිනි. ඒ නිසාම බොහොමයක් යාත්‍රාවලින් මත්පැන් අතහැරී තිබේ. එහෙත් ඇතැම් යාත්‍රා ඒවා රැගෙන යන අවස්ථාද පවතී. මෑතක එලෙස මුහුදු ගොස් මත්පැන් බී බිම නිදා සිටින අයකුගේ කකුල පෑගුණා කියා තවත් අයකු පිහියෙන් ඇන සිදු කළ ඝාතනයක් ද වාර්තා විය. ඒ මත්පැන් මුහුද මැදදී පානය කිරීමේ ආනිසංසය.
මේ කියන්නට යන්නේද මත්පැන් යැයි සිතා පානය කිරීමෙන් වැඩ වරද්දාගත් පිරිසකගේ ශෝකාන්තයක් පිළිබඳවය. ඒ තංගල්ලෙන් ජූනි 2 දා මුහුදු ගිය ඩෙවෝන් 5 බහුදින යාත්‍රාවේ සිදුවූ ඛේදවාචකයයි.
මේ යාත්‍රාව 2 වැනිදා මුහුදු ගියද මොවුන්ට මෙකී ඛේදවාචකයට මුහුණ පාන්නට සිදු වූයේ පසුගිය ජූනි 29 දා ය. මෙම යාත්‍රාව තුළ ධීවරයෝ හය දෙනෙක් ගමන් ගත්හ. ඒ ස්කිපර් ලෙස එම්.ජේ. නයනකාන්ත (42), එම්.ටී. සුජිත් (32), පී.ඩී. ජයසූරිය (23), ආර්.බී.ජී. ප්‍රදීප් නිශාන්ත (34), ජී.එම්. අජිත් කුමාර (56) සහ ටී.බී. සුමිත් කුමාර (42) යන අයයි. එලෙස තංගල්ල ධීවර වරායට නාවික සැතපුම් 400 ක් ඈතින් වූ ජාත්‍යන්තර මුහුදේ මෙම පිරිස ගමන් කරමින් සිටින අවස්ථාවේදී මුහුදේ පාවෙමින් තිබූ දුඹුරු පැහැති බෝතලයක් දැක තිබූ අතර ලීටර් පහක් පමණ පිරවිය හැකි මෙම බෝතලය අවසානයේදී උඩට ගෙන ඇතැයි කියති. පසුව මූඩිය විවෘත කර සුවඳ බැලීමේදී මද්‍යසාර සුවඳක් බවට හඳුනාගෙන ඇත. මේ නිසාම එය මද්‍යසාර යැයි සිතූ ධීවරයෝ සතුටෙන් ඉපිලී එය පානය කිරීම සඳහා සූදානම් වූහ. එසේ සූදානම් වූ පිරිස ඊට පෙර බෝතලය ප්‍රදර්ශනය කරමින් සෙල්ෆි ඡායාරෑපයක්ද ලබාගෙන තිබේ. එම ඡායාරෑපය දකින ඕනෑම අයකුට ඔවුන්ගේ සතුට ප්‍රදර්ශනය වනු ඇත.
මෙම පිරිස එම නන්නාඳුනන බෝතලයේ වූ දියර පානය කිරීමත් සමඟ තත්ත්වය වෙනස් වෙන්නට පටන්ගෙන තිබිණි. ඇතැම් අයට හිස කැරකිල්ල, වමනය, ඔක්කාරය වැනි ලක්ෂණ පහළ විය. ඇතැම් අය කලාන්ත වූහ. කෙසේ වෙතත් ක්ලාන්ත වූ පිරිස් නැවත අවදි වන විට අනෙක් පිරිස දැඩි ලෙස අසාධ්‍ය වී සිට ඇතැයි පැවසේ. මෙම බෝතලය ඒ අවට සිටි තවත් ධීවර බෝට්ටුවක පිරිසකට ලබාදුන්නත් ඔවුන් එය පානය නොකළ බවට දැනගන්නට ඇත. කෙසේ වෙතත් තත්ත්වය දරුණු අතට හැරෙමින් තිබූ අතර ඒ මොහොත වන විටත් බෝට්ටුවේ සිටි හතර දෙනකු අසාධ්‍ය තත්ත්වය හමුවේ මිය ගොස් සිටි බව කියති. අවසානයේ ඒ අසලින් ගිය සිංගප්පූරු නෞකාවක් ඔවුන්ගේ සහායට පැමිණ ඇත. එහිදී අජිත් කුමාර සහ සුමිත් කුමාර යන දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා එම නෞකාවට රුගෙන ගොස් තිබිණි.
ඒ වන විටත් අසාධ්‍ය වූ පිරිස ඇතිවූ හදිසි තත්ත්වය පිළිබඳ තංගල්ල ධීවර වරායට දැනුම් දී තිබිණි. එමෙන්ම ඒ වන විට ඩෙවෝන් 5 යාත්‍රාව හදිසි කාර්මික දෝෂයකට ද මුහුණ පා තිබිණි. ඒ නිසා එය දියඹට රුගෙන ඒම ලෙහෙසි වූයේ නැත. කෙසේ වෙතත් මෙරට මෙහෙයුම් ආරම්භ කළේ කෙසේ හෝ ජීවත්ව සිටින ප්‍රතිකාර ලබන දෙදෙනා බේරා ගැනීමේ අරමුණ ඇතිවය. ඒ අනුව නාවික හමුදාවට අයත් විජයබා නෞකාව දියඹට පිටත් කළ අතර ඒ සිංගප්පූරු නෞකාවේ සිටි දෙදෙනා බේරා ගැනීමටය. ඒ ඖෂධ ද සහිතවය. එහෙත් ඒ වන විටත් බේරාගත් දෙදෙනාගෙන් එක් අයකු මිය ගොස් සිටියේය. ඒ 56 හැවිරිදි අජිත් කුමාර යන අයයි. කෙසේ වෙතත් අවසානයේ සුමිත් කුමාර යන අය රුගෙන ඒමට නාවික හමුදාවට හැකි විය.
මේ අතර කාර්මික දෝෂයට ලක්වුණු ඩෙවෝන් නෞකාව රුගෙන ඒම සඳහා ඩෙවෝන් 1 සහ ඩෙවෝන් 3 දියඹට ගොස් තිබුණි. එම යාත්‍රා දෙක සහ කඹවල ආධාරයෙන් ඉතාම අසීරුවෙන් බෝට්ටුව ඇදගෙන ඒමට සිදුවිය. ඒ අනුව මළසිරුරු රැගත් බෝට්ටුව පසුගිය 3 දා වරායට ළඟා විය. අවසානයේ එතැන වූ සිරුරු හතරක් මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා බාර දී තිබිණි. එහෙත් ඒ සෑම මරණ පරීක්ෂණයකින් පසුව විවෘත තීන්දුවක් ලබාදුන් අතර සිරුරු අභ්‍යන්තරයේ කොටස් රස පරීක්ෂකවරයා වෙත යොමු කෙරිණි. එහෙත් ඔවුන් පානය කළ බෝතලය පිළිබඳ කිසිදු සාක්ෂියක් බෝට්ටුවේ නොතිබූ බැවින් මේ සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තා හරහා තීරණයකට එළැඹීමට නියමිතව ඇත.
මෙම ප්‍රවෘත්තිය දකින ඕනෑම අයකු සිතනු ඇත්තේ මෙවැනි මුග්ධ ක්‍රියාවක් කිරීමට මොවුන් පෙළඹුණේ කෙසේද යන්නය. සැබෑවකි. හිමිකරුවකු නැති, අනන්‍යතාවයක් නැති දෑ ආහාරයට හෝ පානයට ගන්නා සිරිතක් අපට නැත. ඒ අපේ ආරක්ෂාව සලසා ගැනීමටය. අපට බණ දේශනා කළ හැකි වුවත් පසුගිය කොරෝනා සමයේදී මත්පැන් හල් වසා දැමීම නිසා ඇතැම් පිරිස් විවිධ ස්ප්‍රීතු පානයට යොමු වූ අවස්ථා ද දැකගත හැකිවිය. ඒ සියල්ල සිදුවූයේ ද දැනුවත්වය. ඇතැම් අය මත්පැන් පෙරාගෙනද පානය කළහ. එදා වැරදීමක් වූවා නම් මෙවැනි ඛේදවාචකයක් නොවනු ඇත. එහෙත් එදා එසේ සිදුවූයේ නැත. ඇතැම් අය ඔවුන්ගේ අධ්‍යාපනය ගැන කතා කළහ. වස විස අඩංගු බෝතල් ගැන කීහ. එහෙත් ඇතැම් මද්‍යසාර, බීර වැනි බෝතල්වල ද ඇසුරුම් කරයි. ඒ නිසා මෙතැන ඇත්තේ අධ්‍යාපනික දැනුම නොව බුද්ධිය පිළිබඳ ගැටලුවකි. හඳුනා නොගත්, අනන්‍යතාවයක් නැති දෙයක් පානය කිරීම සුදුසු නැත. එය අප දන්නා සාමාන්‍ය දෙයකි. ඒ සඳහා රසායන විද්‍යා දැනුම, ආහාර දැනුම අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ බුද්ධිය පමණි.
මෙම සිදුවීම ඔවුන්ට පමණක් නොව දිය ගොඩ සෑම තැනම ජීවත්වෙන හැමෝටම හොඳ පාඩමකි. මේ ඛේදවාචකය අනාගතයේ තවත් ජීවිත රැසක් රැකගනු ඇත.
• ගයාන් ගාල්ලගේ