2024 අගෝස්තු 03 වන සෙනසුරාදා

මැදපෙරදිග අලුත් යුද්ධයක්

 2024 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 02:00 114

පලස්තීන හමාස් සටන් කණ්ඩායමේ නායක ඉස්මයිල් හනියේ ඉරාන මහ නගරය තුළදීම ඝාතනයට විරෝධය පළ කරමින් හමාස් හිතවාදී විරෝධතාකරුවන් දහස් ගණනක් ඉකුත් සතියේ මධ්‍යම ඉස්තාන්බුල්හි වීදි ඔස්සේ පෙළපාලි ඇරඹූහ.
ඊශ්‍රායලයෙන් එල්ල කළ ප්‍රහාරයකින් ඉරානයේ ටෙහෙරාන් අගනුවරදී ඉස්මයිල් ඝාතනයට ලක්වූ අතර ගාසා තීරයේ ගැටුම පුළුල් මැදපෙරදිග යුද්ධයක් බවට දැන් හැරෙමින් පවතියි.

පෙළපාලිකරුවෝ හනියේගේ ඡායාරූප සහ බැනර් සහිත පෝස්ටර් දරා තුර්කි සහ පලස්තීන ධජ ලෙළවමින් “මිනීමරු ඊශ්‍රායලය පලස්තීනයෙන් ඉවත් වනු” සහ “ගාසාවේ ප්‍රතිරෝධයට ඉස්තාන්බුල් වෙතින් දහස් ගණන් සුබ පැතුම්” යන සටන් පාඨ කියමින් විරෝධතා පා ගමනට එක්ව සිටිති.  

ඉස්මයිල් හනියේ ඉරානයේ ටෙහෙරාන් අගනුවරට පැමිණ ඇත්තේ, ප්‍රතිසංස්කරණවාදී දේශපාලනඥයකු සහ හෘද ශල්‍ය වෛද්‍යවරයකු ලෙස ප්‍රකට ඉරාන නව ජනාධිපති මසූද් පෙෂෙස්කියාන් (Masoud Pezeshkian) ගේ දිවුරුම් දීමේ අවස්ථාවට සහභාගි වීම සඳහාය.

හමාස් ප්‍රධානියා රැඳී සිටි ස්ථානයට එකවර එල්ල වූ ප්‍රහාරයකින් ඔහු සහ ඔහුගේ ආරක්ෂකයකු එම ස්ථානයේදීම මියගිය බව ඉරාන ආරක්ෂක අංශය පවසයි.

මෙම ප්‍රහාරය ඊශ්‍රායල මොසාඩ් ඔත්තු සේවයේ ක්‍රියාවක් බවට ඉරාන රජය චෝදනා කරයි. එහෙත්, ඊශ්‍රායලය මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් මෙතෙක් දක්වා නොමැත.

62 හැවිරිදි ඉස්මයිල් 2007 වසරේ සිට ගාසා තීරය පාලනය කරන හමාස් දේශපාලන කාර්යාංශයේ ප්‍රධානියා විය. ඔහු කටාර් හි ජීවත් විය.

“ඔබ අපේ ආගන්තුකයා අපගේ භූමියේදීම මරා දැමුවා. ඒ ආකාරයෙන්ම ඔබටත් වන්දි ගෙවන්නට සිදු වේවි” යැයි ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි ඊශ්‍රායලට චෝදනා කර තිබූ අතර ඉරානයේ දින තුනක ශෝක කාලයක්ද ප්‍රකාශයට පත් කර තිබුණි. මේ අතර හමාස් නායකයාගේ මරණය පිළිබඳ පකිස්ථාන රජය, රුසියාව, චීනය, තුර්කිය හා මැලේසියාව ඇතුළු රටවල් රැසක් එය හෙළා දකිමින් ප්‍රකාශ නිකුත් කර තිබුණි. මේ ප්‍රහාරයත් සමඟ පලස්තීන ගැටුම කලාපීය ගැටුමක් බවට දැන් ව්‍යාප්ත වීමේ තර්ජනය මතුව ඇත.