2024 අගෝස්තු 24 වන සෙනසුරාදා

‘බ්‍රිතාන්‍යයේ බිල් ගේට්ස්’ මුහුදුබත් වෙයි!

 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 95

‘බ්‍රිතාන්‍යයේ බිල් ගේට්ස්’ නමින් ප්‍රචලිත එරට තාක්‍ෂණික සමාගම් ජාලයක හිමිකරු වන 59 හැවිරිදි ප්‍රකෝටිපති මයික් ලින්ච්ගේ දේහය සිසිලියේ දී පෙරළුණු ඔහුට අයත් පවුලේ සුපිරි යාත්‍රාවෙන් සොයා ගැනීමට කිමිදුම්කරුවන්ට හැකිවිය. ‘බයේසියන්’ නමැති මේ සුඛෝපභෝගී යාත්‍රාව සඳුදා අලුයම පැවැති දරුණු කුණාටුවකින් ඉතාලියේ සිසිලි දූපත ආසන්නයේ මධ්‍යධරණී මුහුදේ දී පුද්ගලයන් 22 දෙනකු සමඟ මුහුදුබත් වීමෙන් මයික් ලින්ච් සහ ඔහුගේ දියණිය ඇතුළු හය දෙනෙක් අතුරුදහන් වූහ.

මයික් ලින්ච්ගේ තාක්ෂණ සමාගමක් ඇමෙරිකාවේ එච්පී තොරතුරු තාක්ෂණ සමාගම වෙත අලෙවි කිරීමේදී ව්‍යාජ ගිණුම් තොරතුරු ඉදිරිපත් කළ බවට ලන්ඩන් නුවර මහාධිකරණයේ විභාගයට ගත් වංචා චෝදනා නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමේ සතුට සැමරීමට ඔහු මෙම විනෝද යාත්‍රා සවාරිය සූදානම් කර තිබුණි. එම නඩුවෙන් නිදහස් වනතුරු මයික් ලින්ච් වසරක කාලයක් නිවාස අඩස්සියේ පසුවිය.

බ්‍රිතාන්‍ය අගමැතිවරුන් දෙදෙනකුගේ තාක්ෂණ උපදේශකවරයා ලෙසත් කටයුතු කර ඇති මයික් ලින්ච් සමඟ 18 හැවිරිදි ඔහුගේ දියණිය ද අතුරුදන් වී ඇති අතර, ඒ සමඟම ලෝක ප්‍රකට මෝගන් ස්ටැන්ලි බැංකු ජාලයේ සභාපති ජොනතන් බ්ලූමර් සහ ඔහුගේ බිරිය ද, බ්‍රිතාන්‍යයේ කීර්තිමත් නීතිඥවරයකු වන ක්‍රිස්ටෝපර් මෝවිල් සහ ඔහුගේ බිරිය වන ප්‍රකට ආභරණ නිර්මාණ ශිල්පිනිය නේඩා මෝවිලෝ ද සිටින බව වැඩිදුරටත් වාර්තා වේ. යාත්‍රාව හිමි ලින්ච්ගේ බිරිඳ ඇතුළු මගීන් 15 දෙනෙක් සහ කාර්ය මණ්ඩලය අනතුරෙන් බේරීමට සමත් වී සිටිති.
Bayesian දැන් මුහුදු පත්ලේ අඩි 164 ක් ගැඹුරින් අංශක 90 ක ආනතියකින් ඇලව වැතිර සිටින නිසා මුදාගැනීමේ ප්‍රයත්නයන් අභියෝගාත්මක වී ඇත. බදාදා වන විට මළසිරුරු පහක් සොයාගෙන තිබූ අතර එක් අයකු අතුරුදන්ව තිබුණි.