2024 අගෝස්තු 24 වන සෙනසුරාදා

මහ පොළොව ළඟටම පැමිණි Juice යානය නැවත හරවා යවයි

 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 85

බ්‍රහස්පතිගේ හිම පිරි චන්ද්‍රයන් ගවේෂණයට ගිය යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ Juice යානය අගෝස්තු 18දා චන්ද්‍ර-පෘථිවි ආසන්න කක්ෂයකට ළඟා වූ අතර ලොව ප්‍රථම වරට එය පෘථිවියේ ගුරුත්වාකර්ෂණය භාවිත කර සිකුරු හරහා බ්‍රහස්පති වෙත කෙටි මඟකින් නැවත හරවා යැවීම සාර්ථක කර ගැනීමට විද්‍යාඥයන්ට හැකි විය.
යානය චන්ද්‍රයාට ආසන්නතම ප්‍රවේශය අගෝස්තු 19 වැනි දින 23:15 CEST (21:15 UTC) ට සිදු කළ අතර, පෘථිවියට ආසන්නතම ප්‍රවේශයක් කරා යන්තම් පැය 24 කට පසුව එනම් අගෝස්තු 20 වැනි දින 23:56 CEST (21:56 UTC) ට සිදුවිය.

මේ පෘථිවියට ආසන්න පියාසර කිරීමේ අරමුණ වූයේ අභ්‍යවකාශ යානයේ වේගය සහ දිශාව වෙනස් කිරීම සඳහා පළමුව චන්ද්‍රයාගේ සහ පසුව පෘථිවියේ ගුරුත්වාකර්ෂණය භාවිත කර යානය අභ්‍යවකාශය හරහා ගමන් කරන මාර්ගය නැවත සකස් කිරීමය.

‘ජූස්’ ගිනිකොණදිග ආසියාවට සහ පැසිෆික් සාගරයට කිලෝමීටර 6840 ක් ඉහළින් පියාසර කළ මේ අවස්ථාවේ, එය එහි අභ්‍යන්තර නිරීක්ෂණ කැමරාවලින් ඡායාරූප මාලාවක් ගෙන තිබූ අතර එහි උපකරණ දහයෙන් අටක් යොදාගනිමින් විද්‍යාත්මක දත්ත රැස් කළේය.

මේ අලුත් තල්ලුවත් සමඟ යානය 2025 අගෝස්තු මාසයේ දී සිකුරු හමුවනු ඇත. සිකුරු වටා පියාසර කිරීම මගින් එය නැවත පෘථිවිය දෙසට තල්ලු කරනු ඇත. ඒ අනුව අභ්‍යවකාශ යානය නැවතත් 2026 සැප්තැම්බර් සහ 2029 ජනවාරි මාසවලදී අපගේ ග්‍රහලෝකයට ආසන්නව පියාසර කරනු ඇත. 2031 ජූලි මාසයේදී බ්‍රහස්පති වෙත පැමිණීමට අවශ්‍ය තවත් තල්ලුවක් දෙකක් ඒ මගින් ලබා ගන්නවා ඇත.