2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

ඩයනා කුමරිය ආපසු එයි! ඔස්ට්‍රේලියාවේ පුනරුත්පත්තිය ලබයි!

 2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:05 135

තමන් ඩයනා කුමරියගේ පුනරුත්පත්තිය යැයි කියාගන්නා පිරිමි ළමයකු ‘එකල ඔහුගේ පුතුන් දෙදෙනා’ විලියම් සහ හැරී ගැන කළ අපූරු විස්තර කතා දැන් මාධ්‍ය කළඹා තිබේ. ජනප්‍රිය ඔස්ට්‍රේලියානු ගායකයකු, නළුවකු සහ රූපවාහිනී නිවේදකයකු වන ඩේවිඩ් කැම්බල්ගේ කුඩා පුතු වන මේ අපූරු දරුවා, බිලී කැම්බල් උපත ලබා තිබුණේ 1997 ඩයනා කුමරිය මිය ගොස් වසර 18 කට පසුවය. ඩයනා කුමරියගේ කතාව දශක ගණනාවක් මුළුල්ලේ ලොවම වසඟ කළ අතර, දැන් අනපේක්ෂිත අමුතු මූලාශ්‍රයකින් ඇගේ සෝචනීය කතාවේ විස්මයජනක නව පරිච්ඡේදයක් මෙලෙස ඉස්මතු වී තිබේ.

වත්මන් බ්‍රිතාන්‍යයේ III වැනි චාල්ස් රජුගේ ආදරණීය පළමු බිරිඳ සහ විලියම් සහ හැරී කුමරුන්ගේ මව වූ ඩයනා කුමරිය වයස අවුරුදු 36 දී දරුණු රිය අනතුරකින් ඛේදජනක ලෙස 1997 අගෝස්තු 31 වැනි දින පැරිසියේ දී මිය ගියාය. නිර්දය පැපරාසීන් මගහැරීමට ගත් දැඩි උත්සාහයක දී ඇගේ සගයා වූ ඩොඩි ෆයිඩ් සහ ඔවුන්ගේ රියැදුරු හෙන්රි පෝල්ගේ ද ජීවිත මේ මාරක අනතුරෙන් අහිමි විය. දැන් ඇතැම් මාධ්‍ය විස්තර කරන ආකාරයට ඇය නැවත ඉපදී තිබේ. ඒ ඔස්ට්‍රේලියානු ජාතික කුඩා බිලී කැම්බල් හැටියටය.

මාධ්‍ය විස්තර අනුව ඔස්ට්‍රේලියානු ජාතික බිලී කැම්බල් තමා ඩයනා කුමරියගේ පුනරුත්පත්තිය යැයි කියා සිටින්නේ ඔහුට යාන්තම් වයස අවුරුදු දෙකක් පමණ වූ කාලයේ සිටය. බිලී, ඩයනාගේ ජීවිතය පිළිබඳ සවිස්තරාත්මක මතකයන් විස්මිත ලෙස විස්තර කර ඇත්තේ සිය දෙමාපියන් සහ අසල්වැසියන් මවිතයට පත් කරමිනි. ඔහු කුඩා දරුවකුගේ දැනුමෙන් ඔබ්බට ගිය බව පෙනෙන සිදුවීම් සහ ස්ථාන ගැන සඳහන් කළේය. ඒ හෙයින් මේ තොරතුරු මාධ්‍ය කළඹාලන්නට වූයේ ඒ දිනවල සිටය.
ඩයනා ගැන කිසිදු විස්තරයක් තමන් පවුලේ කලාතුරකින්වත් කතාබහ කළේ හෝ ඔහුට විස්තර කර දුන්‌නේ හෝ නැති බවත්, එසේ වුවද සිය දරුවා කුඩා කල සිටම ඇය පිළිබඳ විස්තර නිතර කතා කරමින් සිටි නිසා සිදු කළ සොයා බැලීමේදී ඔහු පවසන්නේ නිවැරැදි තොරතුරු බව සනාථ වීමෙන් තමන් ද මවිතයට පත්වූ බවත් සුප්‍රකට නිවේදකයා මාධ්‍ය වෙත කියා තිබේ. ඩයනා කුමරිය නිතර වාසයට ප්‍රිය කළ Balmoral Castle මාලිගය ගැන සහ පැරිසියේ දී ඇය මුහුණ පෑ මාරාන්තික මෝටර් රථ අනතුර පිළිබඳ විශේෂ විස්තර කුඩා බිලීගේ කතාබහට ඇතුළත්ව තිබුණි. ඔහු තම වටපිටාවෙන් තොරතුරු උකහා ගන්නට ඇතැයි මේ සිදුවීම ගැන සැක පළ කරන පිරිස යෝජනා කරන අතර, ඔහුගේ දෙමාපියන් අවධාරණය කරන්නේ ඔවුන් කිසිවිටෙකත් නිවසේ දී සිය දරුවා ඉදිරිපිට දී ඩයනා ගැන විස්තරාත්මකව සාකච්ඡා නොකළ බවයි. මේ පුනරුප්පත්ති කතාව රට තුළ මෙන්ම ලෝකයේ ද අතීත ජීවිත මතකයන් පිළිබඳ අබිරහස් හඹායන්නන්ගේ උනන්දුව නැවත මතු කර ඇත.
මුල් වරට 2019 දී ඔස්ට්‍රේලියාවේ පළවන ‘Stellar magazine හි ඩේවිඩ් කැම්බල් සිය දරුවාගේ අමුතු හෙළිදරව්ව ගැන අපූරු කතාව ප්‍රසිද්ධ කළ විට සමස්ත ඔස්ට්‍රේලියාවම කම්පනයට පත් විය. අන්තර්ජාලය ද කැළඹිණි. පසුව ආ සඳුදා උදාසන ඔහු සිය රේඩියෝ ප්‍රසංගයේ දී කතා කරමින් සිය නිවේදක සගයා වන, බෲක් බොනීට තවත් බොහෝ දේ හෙළි කළේ මෙලෙසිනි.

“එය ආරම්භ වුණේ කවුරුහරි මගේ බිරිඳ ලීසාට ‘ලේඩි ඩි’ (ඩයනා කුමරියගේ) ගේ සේයාරුව සහිත කාඩ්පතක් ලබා දී තිබූ දවසක. එවිට වයස අවුරුදු දෙකක් වූ මගෙ පුතා බිලී, ඒ සේයාරුව පෙන්වා, “බලන්න! මේ ඉන්නේ මම, ඒ මම කුමාරිකාව කාලේ. ඊට පස්සේ දවසක් මහා සයිරන් හඬක් ආවා, ඉන් පස්සේ මම තවදුරටත් කුමාරිකාවක් නෙවෙයි.” යැයි කීවා.”

මෙහිදී විස්මයට පත් ඩේවිඩ් කැම්බල් එකලම තම පුතාගේ 'අමුතු' අනන්‍යතා හෙළිදරව්ව ගැන ඔහුගේ බිරිඳ සමඟ එකතුව තොරතුරු විස්තර පරීක්‍ෂාව ආරම්භ කළ බවත්, එහිදී ඇදහිය නොහැකි ප්‍රතිඵල ලබාගත් බවත් කියා ඇත.
ඔහු පැවසුවේ මේ එක් අවස්ථාවකදී කුඩා දරුවා එංගලන්ත රාජකීය පවුලේ ස්කොට්ලන්ත වාසස්ථානය බල්මොරල් මාලිගය ගැන සිය ලොව වටා සංචාරය කරන ස්කොට්ලන්ත මිතුරන්ට විස්තර කළ බවත්, ඔහුගේ විස්තරයන්ගේ නිරවද්‍යතාවයෙන් ඔවුන් පුදුමයට පත් වූ බවත්ය. ඔහු කියා තිබුණේ තමන් ඩයනා කුමරියව සිටිය දී ආශ්චර්යය පිරි මාලිගාවකට ගිය බවයි. ඔහු ඒ බලකොටුව විස්තර කළේ ‘ඒක මත යුනිකෝන්ලා’ ඇති බවත් එය බල්මොරල් ලෙස හැඳින්වූ බවත් කියමිනි.
“යුනිකෝන් යනු ස්කොට්ලන්තයේ ජාතික සත්වයා වන අතර මාලිගයේ බිත්ති මත යුනිකෝන් රූ ඇත, ඔහු මෙය දන්නේ කෙසේද?” ඩේවිඩ් අසයි.

බිලී හට ඩයනා කුමරියගේ සහෝදරයකු ගැන නම් කිරීමට ද ඒ කුඩා කාලයේදීම හැකි විය. ඒ එකල ඔහුට තවත් සහෝදර සහෝදරියන් තිදෙනකු සිටින බව පවසමිනි. ඔහු මේ සහෝදරයා නම් කළේ ජෝන්, ලෙසටය. සැබැවින්ම ජෝන් යනු ඩයනා ඉපදීමට පෙර 1960 දී මියගිය ස්පෙන්සර් පවුලේ දරුවෙකි. ඔහු පවුලේ එතරම් නොදන්නා චරිතයකි.

බිලීගේ පියා ඩේවිඩ් සිය නිවේදක සගයාට මෙසේ ද විස්තර කර තිබුණි.

“එයා තමන්ගේ ‘පිරිමි ළමයින් දෙදෙනා’ ගැන විස්තර කියන්න පටන් ගත්තා. අපි ඇහුවා මොන කොල්ලෝද කියලා. එතකොට අපේ අවුරුදු තුනේ ළමයා කියනවා, එයාගේ පුතාලා කියලා.”

ඩේවිඩ් පැවසුවේ ඔවුන් කිසිසේත්ම රාජාණ්ඩුවාදීන් නොවන බවත්, නිවසේ දී රාජකීය පවුල ගැන සාකච්ඡා කරන්නේ ඉතා කලාතුරකින් බවත්, එබැවින් ඔහුගේ පුතාට මේ තොරතුරු සිය පවුල තුළින් ලැබීමට අවස්ථාවක් නැති බවත්, ඔහු මේ අමුතු හා නිවැරදි තොරතුරු පැහැදිලි කරන්නේ කෙසේද යන්න පිළිබඳව තමන් විමතියෙන් අතරමංව සිටින බවත්ය.

1997 දී පැරිසියේ දී ඩයනා කුමරියගේ මරණය බොහෝ දෙනකුගේ සිත් කම්පා කළ සහ කතාබහට හේතු වූවකි. 1997 අගෝස්තු 31 වැනි දින ඩයනාගේ ජීවිතය බිලිගත් පැරිසියේ ඛේදජනක මෝටර් රථ අනතුර ගැන ද බිලී සඳහන් කර තිබුණි. බිලී මේ සිද්ධිය විස්තර කර තිබුණේ සිද්ධියේ විශේෂතා ගැන කලින් නොදත් අයකුට කිසිසේත්ම සිදු කළ නොහැකි තරම් අතිශය නිරවද්‍ය බවක් සහිත වූ සවිස්තරාත්මක මට්ටමකිනි.

ළමුන් තුළින් මතුවන සිය අතීත ජීවිත මතකයන් පිළිබඳ මේ සංසිද්ධිය සම්පූර්ණයෙන්ම අලුත් නොවේ. වර්ජිනියා විශ්වවිද්‍යාලයේ මනෝචිකිත්සාව සහ ස්නායු හැසිරීම් විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන ආචාර්ය ජිම් ටකර්, අතීත ජීවිත මතක ඇති බව කියන දරුවන්ගේ සිද්ධීන් ගණනාවක්ම අධ්‍යයනය කර ඇත. ඔහුගේ පර් යේෂණවලින් පෙනී යන්නේ, සාමාන්‍යයෙන් වයස අවුරුදු දෙකත් හයත් අතර සමහර දරුවන්, පෙර පැවැත්මේ සිදුවීම් සහ පුද්ගලයන් පිළිබඳ දැනුම ප්‍රදර්ශනය කරන බවයි. ආචාර්ය ටකර්ගේ කෘතීන් තුළ දරුවන් ඔවුන්ගේ අතීත ජීවිත පිළිබඳ සත්‍යාපනය කළ හැකි තොරතුරු ලබා දී ඇති අවස්ථා ගණනාවක්ම ලේඛනගත කර ඇත.

බිලී කැම්බල්ගේ සිද්ධිය මෙබඳු අතීත ජීවිත මතකයන් පිළිබඳ වාර්තාගත අනෙකුත් සුප්‍රසිද්ධ අවස්ථා නැවතත් කරළියට කැඳවා ඇත. එවැනි එක් සිද්ධියක් නම්, දෙවැනි ලෝක යුද්ධයේ ප්‍රහාරක ගුවන් නියමුවකුගේ පුනරුත්පත්තිය යැයි කියාගත් ඇමෙරිකානු පිරිමි ළමයකු වන ජේම්ස් ලයිනින්ගර් ගැන කතාවය.

ජේම්ස්, ඒ ගුවන් නියමුවාගේ ජීවිතය සහ මරණය පිළිබඳ නිශ්චිත තොරතුරු සැපයූ අතර පසුව එය ඓතිහාසික වාර්තා මගින් තහවුරු විය. මෙම සිද්ධීන් පර් යේෂකයන්ගේ කුතුහලය දනවන අතර විඥානය සහ මතකය පිළිබඳ අපගේ අවබෝධයට අභියෝග කරයි. කර්මය සහ පුනර්භවය පිළිබඳ බොහෝ කතාබහක් කලකට පෙර මෙරට තුළ ද පැතිර ගිය අතරම ආචාර්ය ඒබ්‍රහම් ටි කොවුර් ප්‍රධාන පිරිසක් මේ ගැන විශිෂ්ට පර් යේෂණයන්හි ද යෙදුණහ. ඒ සමගාමීව මෙරට මාධ්‍ය තුළ ද මෙබඳු අතීත ජීවිතය ගැන කියන පුනර්භව කතා සඳහා යස ඉඩකඩක් වෙන්ව තිබුණි. දැන් මේ බිලීගේ හෙළිදරව්වත් සමඟ නැවතත් සිත හා එහි අතීත ආත්මීය මතක ගැන අප නොදත් අබිරහස් ගැන කතාබහක් මතුව තිබේ.

• සුගත් පී. කුලතුංග ආරච්චි