2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

ජර්මනිය දේශසීමා වසා දමයි!

 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00 120

ජර්මනියේ මධ්‍ය-වාම ආණ්ඩුව අවිධිමත් සංක්‍රමණ පාලනය කිරීම සඳහා තාවකාලික ගොඩබිම් සීමා පැනවීමට තීරණය කළේය. මේ තීන්දුව ගෙන ඇත්තේ මෑතක පැවැති මැතිවරණයෙන් අන්ත දක්ෂිණාංශික පක්ෂයක් විසින් නැගෙනහිර තුරින්ගියා ප්‍රාන්තය ජයග්‍රහණය කිරීම සහ අසල්වැසි සැක්සොනි ප්‍රාන්තයේ දෙවැනි ස්ථානයට පත්වීමත් සමඟය. එම ප්‍රාදේශීය මැතිවරණ පැවැත්වුණේ බටහිර සොලින්ගන් නගරයේ පුද්ගලයන් තිදෙනකුට මරු කැඳවූ සිරියානු සරණාගතයකු විසින් සිදු කරන ලදැයි කියන පිහි ප්‍රහාරයක භීතිය පැතිර තිබියදීය.

ජයග්‍රහණය ලද අන්ත දක්ෂිණාංශික AfD, බොහෝ විට ආණ්ඩුව සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් මෘදු ලෙස කටයුතු කරන බවට චෝදනා කරයි. මෙම මාසයේ ප්‍රාදේශීය මැතිවරණයෙන් පසු සිදුවූ එම පක්ෂයේ ජයග්‍රහණය දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ජර්මනියේ අන්ත දක්ෂිණාංශික පක්ෂයක් ලැබූ පළමු ජයග්‍රහණය සනිටුහන් කළේය.

අභ්‍යන්තර කටයුතු අමාත්‍ය නැන්සි ෆයිසර් සඳුදා නිවේදනය කළේ මේ පාලනයන් සැප්තැම්බර් 16 වැනිදා ආරම්භ වන අතර, මාස හයක කාලයක් පවතින බවයි. ප්‍රංශය, ලක්සම්බර්ග්, නෙදර්ලන්තය, බෙල්ජියම සහ ඩෙන්මාර්කය සමඟ ඇති ගොඩබිම් මායිම්වලට මේ තාවකාලික පාලනයන් පැනවීමට නියමිතය. ජර්මනිය එහි කිලෝමීටර් 3,700 කට වඩා දිග (සැතපුම් 2,300 දිග) දේශසීමාව බෙදා ගන්නා රටවල් නවයෙන් අනෙක් හතර වන ඔස්ට්‍රියාව, චෙක් ජනරජය, පෝලන්තය සහ ස්විට්සර්ලන්තය සඳහා දැනටමත් ක්‍රියාත්මක වන සීමාවන්ට මෙය ද එකතු කරනු ඇත.

වසර 10කට පමණ පෙර, හිටපු චාන්සලර් ඇන්ජෙලා මර්කල් යටතේ සිරියාවේ සිට පැමිණි සරණාගතයන් මිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක් භාරගැනීම ගැන ජර්මනියට ලොව බොහෝ දෙනා විසින් ප්‍රශංසා කරන ලදී. නමුත් ජර්මනියට සංක්‍රමණ දිරිමත් කිරීම සඳහා ආර්ථික හේතුවක් ද ඇත. විශේෂඥයන් පැවසුවේ වයස්ගත අය වැඩි සමාජයක් සහ මධ්‍යස්ථ ජනගහන වර්ධනයක් හේතුවෙන් එහි ශ්‍රම බලකාය අඩුවන බැවින් සෑම වසරකම රටට සංක්‍රමණිකයන් මිලියන 1.5 ක් පමණ අවශ්‍ය බවයි.