ඉන්දියානු අගනගරය වන දිල්ලිය දැන් විප්ලවීය වෙනසකට මුහුණ දී තිබේ. එහි මහ ඇමැතිවරයා ඉල්ලා අස්වීමත් සමඟිනි. ඉන්දියානු භු දේශපාලනික යාන්ත්රණයට තදින්ම බලපාන මේ ප්‍රධාන නගරය දැන් කාන්තාවක් අතට පත්ව ඇත.
රටේ ප්‍රධාන විපක්ෂයේ නායක සහ දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල්ට එරෙහිව තිබූ දූෂණ නඩුවකට ඇප ලැබීමෙන් දින කිහිපයකට පසු ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්විය. කෙජ්රිවාල් මාස පහක් සිරගතව සිටියේ මේ වනවිට අවලංගු කර ඇති මත්පැන් අලෙවි කිරීමේ ප්රතිපත්තියකට අදාළව සිදු වූ බව කියන දූෂණ චෝදනාවන්ට අනුවය. ඔහු තමන්ට එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණි.
ඇප ලැබීමෙන් පසු ඉල්ලා අස්වූ ඔහු ඉදිරි ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ජනතාව තම ආම් ආද්මි පක්ෂය (AAP) තෝරා පත්කර ගතහොත් පමණක් තමා නැවත එම තනතුර භාරගන්නා බව පවසා ඇත. කෙජ්රිවාල්ගේ සගයා සහ දිල්ලියේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරියක වන ආටිෂි ඔහු වෙනුවට නායකයා ලෙස පත් කරන බව එම පක්ෂය අඟහරුවාදා නිවේදනය කළේය. හිටපු දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල් සතියක් ඇතුළත ජාතික අගනුවර සිවිල් ලයින් ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිල නිවසින් ඉවත් වන බවද ආම් ආද්මි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජේ සිං බදාදා ප්‍රකාශ කළේය.
ආම් ආද්මි පක්ෂය 2013 දිල්ලි ප්‍රාදේශීය සභා මැතිවරණයේදී සිය මංගල මැතිවරණ ජයග්‍රහණය සිදු කළ අතර එතැන් සිට අගනුවර පාලනය කර ඇත. ඒ කාලයේ සිට අගනුවර පදිංචිකරුවන්ට විදුලිය සහ ජලය වැනි මූලික අවශ්‍යතා සඳහා දැරිය හැකි මට්ටමට ලබා දීමේ සුබසාධන ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු කර තිබුණි. මේ නිසාම 2020 දී, පක්ෂය ආසන 70 කින් යුත් සභාවෙන් ආසන 62 ක් දිනා ගත්තේය.
කෙජ්රිවාල් ඉකුත් සති අන්තයේ ඉල්ලා අස්වීමේ අදහස ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ තමන් මහ ඇමැති පුටුවේ අසුන් ගන්නේ දිල්ලියේ ජනතාව නැවත ඔහුට “සිය අවංකභාවය පිළිබඳ සහතිකයක්” ලබා දෙන්නේ නම් පමණක් බවයි. “මට සාධාරණය ලැබුණේ උසාවි නීතියෙන්, දැන් මට මහජන අධිකරණයෙන් යුක්තිය ඉටුවේවි,” ඔහු මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.
ලබන වසරේ පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිත දිල්ලි මැතිවරණය නොවැම්බර් මාසය දක්වා කල් දමන ලෙස කෙජ්රිවාල් ඉල්ලා තිබේ.
අරවින්ද් කෙජ්රිවාල් යනු ඉන්දියාවේ සුප්‍රකට දේශපාලනඥයකු, සමාජ ක්‍රියාකාරිකයකු සහ හිටපු රාජ්‍ය නිලධාරියකු වන අතර ඔහු 2024 සැප්තැම්බර් 17 දක්වා දිල්ලි හි 7 වැනි මහ ඇමැතිවරයා ලෙස කටයුතු කළේය. ඔහු මීට පෙර 2013 සිට 2014 දක්වා ද නැවත 2015 සිට ද මහ ඇමැතිවරයා ලෙස කටයුතු කළේය. ඔහු 2012 සිට ආම්-ආද්මි පක්ෂයේ ජාතික කැඳවුම්කරුය. ඔහු 2013 සිට 2014 දක්වා සහ 2015 සිට දිල්ලි ව්‍යවස්ථාදායක සභාවේ නවදිල්ලි මැතිවරණ කොට්ඨාසය නියෝජනය කර ඇත.
අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය (බී.ජේ.පී.) දිල්ලියේ ආම් ආද්මි AAP හි ප්‍රධාන විපක්ෂය වන අතර, කෙජ්රිවාල්ගේ මේ හදිසි ඉල්ලා අස්වීම මහජන අනුකම්පාව දිනා ගැනීම සඳහා යොදාගත් “ප්රචාරක උප්පරවැට්ටියක්” ලෙස ඔහු හැඳින්වීය.
දූෂණ විරෝධී සටන්කරුවකු වන කෙජ්රිවාල්, දැනට අවලංගු කර ඇති මත්පැන් අලෙවි කිරීමේ ප්‍රතිපත්තිය අනුව සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ තුන්වැනි AAP නායකයා විය.
හිටපු නියෝජ්‍ය මහ ඇමැතිවරයකු වන මනීෂ් සිසෝඩියා සහ ආම් ආද්මි නායක සංජේ සිං ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත. මාස 17 ක් සිරගතව සිටීමෙන් පසු සිසෝඩියාට අගෝස්තු මාසයේදී ඇප ලැබුණු අතර සිං අප්‍රේල් මාසයේදී ඇප මත නිදහස් විය.
2021 දී AAP විසින් මෙම නව ප්‍රතිපත්තිය හඳුන්වා දෙන ලද අතර, එය කළු කඩ අලෙවිය මැඩපැවැත්වීම, ආදායම් වැඩි කිරීම සහ මත්පැන් බලපත්‍ර නිසි ලෙස බෙදා හැරීම පවා සහතික කරන බව පැවසීය. මාස කිහිපයකට පසු එය ඉල්ලා අස්කර ගනු ලැබුවේ දිල්ලියේ ආණ්ඩුකාර ලුතිනන් විනායි කුමාර් සක්සේනා විසින් පෞද්ගලික මත්පැන් ව්‍යාපාරිකයන්ට වාසි සැලසීම සඳහා මෙහි නීති-රීති උපයෝගී කර ගන්නා බවට AAP වෙත චෝදනා කිරීමත් සමඟය.
AAP චෝදනා ප්‍රතික්ෂේප කළ අතර විපක්ෂ නායකයන් අසාධාරණ ලෙස ඉලක්ක කිරීම සඳහා විමර්ශන ආයතන අවභාවිත කරන බවට භාරතීය ජනතා පක්ෂයට චෝදනා කර තිබුණි.
කෙජ්රිවාල් වෙනුවට නව නායිකාව ලෙස පත්ව එන 43 වැනි වියේ පසුවන ආටිෂි, ඒ අනුව දිල්ලි මහ ඇමැතිවරිය ලෙස කටයුතු කළ ලාබාලතම සහ තුන්වැනි කාන්තාව බවට පත්ව සිටී. ඇය මේ වන විට දිල්ලි කැබිනට් මණ්ඩලයේ ජලය, මුදල්, විදුලිබල හා අධ්‍යාපන වැනි වැදගත් අමාත්‍ය ධුර කිහිපයක්ම දරයි.
මෑතක් වන තුරුම සිරගතව සිටි ජ්‍යෙෂ්ඨ AAP නායකයන් නොමැති විට, ඇය පක්ෂයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර ප්‍රබල නායිකාවක් ලෙස කඩිනමින් පෙරමුණට පත් විය. මාක්ස්වාදී නැඹුරුවක් ඇති මහාචාර්යවරුන් දෙපළකට දාව උපත ලැබූ ආටිෂි දිල්ලි විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අතර පශ්චාත් උපාධිය සඳහා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ගියාය.
කර්ණාටක ප්‍රාන්තයේ පාසලක ඉගැන්වීමේ වසර කිහිපයක් ගත කළ ඇය මධ්‍ය ප්‍රදේශ් හි විකල්ප ගොවිතැන් හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සම්බන්ධ වූවාය. ඇය 2013 දී AAP සමඟ සම්බන්ධ වූ අතර හිටපු නියෝජ්‍ය මහ ඇමැති සිසෝඩියාගේ උපදේශකයකු ලෙස දිල්ලි රජයේ පාසල් ප්‍රතිසංස්කරණය කිරීමට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත. එලෙස අධ්‍යාපන ප්‍රතිසංස්කරණවාදියකු ලෙස ලද ඇගේ කීර්තිය මත නැගී, ඇය 2020 දී දිල්ලි සභාවට තේරී පත් විය.
නමුත් ඇය 2019 පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගාම්භීර්ගේ ජනකාන්ත ඡන්ද බලය හමුවේ පරාජයට පත් වූවාය. මෙම වසර මුලදී, ඇය මාධ්‍ය කැළඹූ සිරස්තල මවන්නියක බවට පත් වූයේ දිල්ලියේ ජල අර්බුදය ඉස්මතු කිරීම සඳහා ගිම්හානයේ උච්චතම මාසවලදී අඛණ්ඩ උපවාසයක නිරත වීමත් සමඟිනි.