2024 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

ට්‍රම්ප් බලයට ගේන්න ප්‍රකෝටිපතියන්ගෙන් සල්ලි මලු!

 2024 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00 79

ඉකුත් බදාදා ජෝර්ජියා ප්‍රාන්තයෙන් ආරම්භ වූ ඇමෙරිකාවේ ජනාධිපතිවරණය සඳහා වූ පූර්ව ඡන්ද විමසීම අතරතුර ලොව ධනවත්ම පුද්ගලයා වන මස්ක්, ඇතුළු ප්‍රකෝටිපතියන් ගණනාවක් ට්‍රම්ප් නැවත බලයට ගෙන ඒම සඳහා අති විශාල මුදලක් ආයෝජනය කර ඇති බව වාර්තා වී තිබේ.

ලබන නොවැම්බර් මස 5 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතය. පූර්ව ඡන්ද විමසීම මේ සතියේදී එරට ප්‍රාන්ත 10 කට වැඩි සංඛ්‍යාවක තෝරාගත් මධ්‍යස්ථානවල පැවැත්වෙන අතර, කමලා හැරිස් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර මෙවර තරගයෙන් වැඩි ජයක් ට්‍රම්ප්ට හිමිවන ලකුණු දැනටමත් පහළ වී තිබේ.

ග්‍රීෂ්ම ඍතුවේ දී ඒලෝන් මස්ක්, ප්‍රාන්තවල ඡන්දදායකයන් හැරවීමට උපකාර කිරීම අරමුණු කරගනිමින් පිහිටුවීමට ඔහු ද උදව් කළ, ට්‍රම්ප් ගැති සුපිරි PAC කණ්ඩායම වෙත ඩොලර් මිලියන 75 කට ආසන්න මුදලක් ලබා දුන්නේය. ඒ අන්දමට සමස්තයක් වශයෙන්, ප්‍රකෝටිපතියන් තිදෙනකු - මස්ක්, කැසිනෝ ධනයකට උරුමක්කාරයකු වන ඇඩෙල්සන් සහ මැදපෙරදිග ඇසුරුම් කර්මාන්ත අධිපති රිචඩ් උයිහ්ලීන්, රිපබ්ලිකන් අපේක්ෂකත්වයට සහාය දෙන කණ්ඩායම් සඳහා මාස තුනක කාලයක් තුළ දළ වශයෙන් ඩොලර් මිලියන 220 ක් පරිත්‍යාග කර තිබේ. කමලා හැරිස් ජූලි මස අගදී ඩිමොක්‍රටික් අපේක්ෂකයා බවට පත් වූ දා සිට ඩොලර් බිලියන 1 ක අරමුදලක් වේගවත්ව රැස් කරමින් වෙනත් ඕනෑම ජනාධිපතිවරණ අපේක්ෂකයකුට වඩා වාර්තාවක් තබා ඇත. ට්‍රම්ප් වෙත මහා ප්‍රකෝටිපතියන් ආකර්ශනය වී ඇත්තේ මෙබඳු වාතාවරණයක් යටතේය.