අඟහරුවාදා සිදු වූ නව සමීක්ෂණ ඇතුළුව මෑත කාලීන ඡන්ද විමසීම් පෙන්නුම් කරන්නේ ඇමෙරිකානු ඉතිහාසයේ මින් පෙර කිසි දිනෙක නොදුටු පෙරැළියක් මෙවර 2024 ඡන්දයෙන් සිදුවිය හැකි බවය.
මෙවර එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය, බොහෝ දුරට රිපබ්ලිකන් සිට ඩිමොක්රටික් පාලනයකට පෙරළිය හැකි අතර සෙනෙට් සභාව ඩිමොක්රටික් සිට රිපබ්ලිකන් පාලනයක් දක්වා උඩු යටිකුරු වන ලකුණු ඇති බව පූර්ව මැතිවරණ නිරීක්ෂණ පෙන්වා දෙයි.
එක්සත් ජනපදයේ මැතිවරණ දිනයට සති දෙකකටත් අඩු කාලයක් ඉතිරිව තිබියදී, ඡන්ද විමසීම් සාමාන්‍යයෙන් පෙන්නුම් කරන්නේ ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා වන කමලා හැරිස් සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය තීරණාත්මක ප්‍රාන්ත 7 ක පාවෙන ඡන්ද මත රැඳී පවතින බවය.
FiveThirtyEight හි දෛනික මැතිවරණ නිරීක්ෂණ අනුව, බදාදා වන විට, උප ජනාධිපති හැරිස් ජාතික ඡන්ද විමසීමේදී ඉදිරියෙන් සිටි අතර එය හිටපු ජනාධිපති ට්‍රම්ප්ට වඩා සියයට 1.9 කින් වැඩිය. සඳුදා ප්‍රකාශයට පත් කරන ලද වොෂින්ටන් පෝස්ට් පුවත්පත ඇතුළු විවිධ මෑත කාලීන මත විමසුම්වලට අනුව, ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් සියයට 47 ක් තමන් ඩිමොක්රටික් පක්ෂයේ අපේක්ෂකයා වන හැරිස්ට නියත වශයෙන්ම හෝ බොහෝ විට ඡන්දය දෙන බව පෙන්නුම් කළහ. එම ප්‍රතිශතයම රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ට්‍රම්ප්ට ද සහය පළ කළේය.
ඊට ප්රතිවිරුද්ධව, අඟහරුවාදා රොයිටර්ස්/ ඉප්සෝස් විසින් නිකුත් කරන ලද මත විමසුමකින් පෙන්නුම් කළේ ට්‍රම්ප්ගේ සියයට 43 හා සසඳන විට හැරිස් ට්‍රම්ප්ට වඩා සියයට 46 ක් ගෙන ඉදිරියෙන් සිටින බවයි. මේ පූර්ව ඡන්ද මත විමසුම් මහජන ඡන්දය මත පමණක් රැඳී තිබේ. කෙසේ වෙතත්, අවසාන වශයෙන්, සමස්ත මැතිවරණ ජයග්‍රාහකයා තීරණය කරන්නේ මැතිවරණ විද්‍යාල ඡන්දය මිස රට පුරා මහජන ඡන්දය නොවේ. ජයග්‍රහණය කිරීම සඳහා අපේක්ෂකයකුට මැතිවරණ විද්‍යාල ඡන්ද 538 න් 270 ක් ලබා ගැනීමට අවශ්‍ය වේ. මැතිවරණ විද්‍යාල ඡන්ද ඔවුන්ගේ සාපේක්ෂ ජනගහනය අනුව ප්‍රාන්ත හරහා බෙදා හරිනු ලැබේ.
රටේ බොහෝ ප්‍රාන්ත රිපබ්ලිකානුවන් හෝ ඩිමොක්රටික් පාක්ෂිකයන් ලෙස දැඩි ලෙස ඉතා පැහැදිලිව නැඹුරු වීමක් පෙන්නුම් කරයි. නමුත් තියුණු ඡන්ද සටන් ඇතිවිය හැකි ප්‍රාන්ත ලෙස හැඳින්වෙන පාවෙන ඡන්ද සහිත ප්‍රාන්ත හතක් 2024 මැතිවරණයේ ප්‍රතිඵලය තීරණය කරනු ඇත. මේවා විශේෂයෙන් කරට කර තියුණු සමීප තරගයක් පවතින ප්‍රාන්ත වේ. මේ ප්‍රාන්ත හත වන්නේ පෙන්සිල්වේනියා (මැතිවරණ විද්‍යාල ඡන්ද 19), උතුරු කැරොලිනා (16), ජෝර්ජියා (16), මිචිගන් (15), ඇරිසෝනා (11), විස්කොන්සින් (10) සහ නෙවාඩා (6) ය.
නමුත් FiveThirtyEight හි මෑත සමීක්ෂණවල හැරිස් සහ ට්‍රම්ප් මෙම එක් එක් ප්‍රාන්ත හතේ ඡන්ද විමසීම්වල තියුණු බෙදීම් සීමාව තුළ ස්ථානගත කර තිබේ. ට්‍රම්ප් ජෝර්ජියා, ඇරිසෝනා සහ උතුරු කැරොලිනා යන ප්‍රාන්තවල ප්‍රතිශතය තුළ බෙදුම් සීමාවේ හෝ ඊට ටිකක් වැඩියෙන් ඉදිරියෙන් හෝ සිටින අතර, ඉතිරි ප්‍රාන්ත හතර - පෙන්සිල්වේනියා, මිචිගන්, විස්කොන්සින් සහ නෙවාඩා - හිටපු ජනාධිපතිවරයා සහ හැරිස් අතර සටන ඉතා තියුණු ලෙස කරට කර සමීපය. ට්‍රම්ප් පෙන්සිල්වේනියාවේ ආන්තික ලෙස ඉදිරියෙන් සිටින අතර, හැරිස් මිචිගන්, විස්කොන්සින් සහ නෙවාඩා හි ඔහු පසු කරමින් සිටී.
මේ වන විට ඡන්ද මධ්‍යස්ථාන මගින් ග්‍රහණය කරගත් මේ කරට කර වෙනස මැතිවරණ රාත්රියේදී ද පවතින්නේ නම්, ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමේ හැකියාවක් පවතී. නමුත් මෙම ප්‍රධාන ප්‍රාන්තවල ඔහුට පක්ෂ ඡන්දයන්හි කුඩාම වෙනසක් පවා හැරිස්ගේ ජයග්‍රහණයට හේතු විය හැකි බව විචාරක මතයයි.