2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා

මස්ක්‌ගෙන් මට බේරෙන්න බෑ

 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 63

ඇමෙරිකාවේ අනාගත ජනාධිපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් බදාදා සිය ප්‍රධාන අනුග්‍රාහකයකු වන එලොන් මස්ක් සමඟ වොෂින්ටනයට පැමිණි අතර එහිදී ඔහු තමන්ට සිය ප්‍රකෝටිපති ආධාරකරුගෙන් ගැලවිල්ලක් නැති බවට ප්‍රසිද්ධියේ විහිළුවක් ද කළේය. ඒ කැපිටල් හිල් හි මුළුදුන් රිපබ්ලිකන් සම්මේලන රැස්වීම අතරේදීය.

ට්‍රම්ප් මේ කියන ප්‍රකෝටිපති ආධාරකරු එලොන් මස්ක්, රිපබ්ලිකන් නියෝජිත සම්මේලන රැස්වීමේ මුල් පෙළේ මැද කැපීපෙනෙන තැනක වාඩි වී උන් අතර ට්‍රම්ප්ගේ නැවත ධවල මන්දිර ආගමනයට උදව් කළ දා සිට ඔහු නොහැරම ළඟින් රැඳී සිටියි. ප්‍රකෝටිපතියා ට්‍රම්ප්ගේ ගොල්ෆ් පිටිය තුළ රැඳී සිටින අයුරු සහ තේරී පත්වූ ජනාධිපතිවරයා සමඟ එක්ව ආහාර ගන්නා අයුරු ප්‍රසිද්ධ වී තිබුණි. ඔහු කෙතරම් ඒ පවුලට සමීප වී ඇතිද යත් ට්‍රම්ප්ගේ මිනිබිරිය සමාජ මාධ්‍ය සටහනක ප්‍රකෝටිපතියා ‘මාමා’ ලෙස පවා හඳුන්වා දී තිබුණි.

මෙය සිදුවූයේ විවේක් රාමස්වාමි සමඟ මස්ක් සිය රජයේ කාර්යක්ෂමතාව පිළිබඳ නව දෙපාර්තමේන්තුවකට සම නායකත්වය දෙන බව ට්‍රම්ප් අඟහරුවාදා ප්‍රකාශ කිරීමෙන් පසුවය.

මස්ක්ගේ මේ නව පත්වීම ගැන දැනටමත් බොහෝ විවේචන එල්ල වී ඇත. ඔහුට පැවැරූ මෙම සාර්වරයකු සමාන නව තනතුර හේතුවෙන් ට්‍රම්ප් රජයේ අරමුණ සාමාන්‍ය මිනිසුන්ට සේවය කිරීම ද නැතහොත් ප්‍රකෝටිපතියන්ට සේවය කිරීම දැයි මෙතෙක් සැකයක් තිබූ අයට දැන් විවෘත පැහැදිලි පිළිතුරක් ලැබී ඇති බැව් ‘මහජන පුරවැසියා’ නමැති ලාභ නොලබන නිරීක්ෂණ කණ්ඩායම පෙන්වා දී තිබේ. ඔවුන් කියන්නේ රජය කාර්යක්ෂම කරවන්නට එන මස්ක් සිය ආයතන මානුෂීය ලෙසින් කාර්යක්ෂම කර ගන්නටද අසමත් වූ බවත් ඔහුගේ ක්‍රමවේදය හොඳින් පැහැදිලි වන්නේ ට්විටර් (දැන් X) අත්පත් කර ගැනීමේදී එහි කාර්යක්ෂමතාව රකින්නට කියා කාර්ය මණ්ඩලය 8,000 සිට 1,500 දක්වා අඩු කළ ආකාරයෙන් බවය.