2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා

බයිඩ්න් න්‍යෂ්ටික යුද්ධයකට පාර කපයි!

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 93

අලු‍තෙන් පත්වූ ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් ලෝක යුද්ධ ගැන නොව සිය රට ගැන සොයා බැලීමේ සුබවාදී සංඥාවක් දල්වා සිටියද දැනට බලයේ සිටින ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න්ගේ ප්‍රකාශයක් අනුව දැන් ලෝකය නැවතත් න්‍යෂ්ටික යුද්ධයක අනතුර කරා තල්ලු‍ වෙමින් පවතී.

එහි ප්‍රතිඵලයක් ලෙස ක්‍රෙම්ලිනය දැනටමත් න්‍යෂ්ටික අවි භාවිතය සඳහා නව නීති රාමුවක් නිර්මාණය කර හමාරය. මොස්කව් එසේ කළේ ඇමෙරිකානු දිගු දුර මිසයිල මගින් රුසියානු ඉලක්ක වෙත පහර දීමට එක්සත් ජනපදය යුක්රේනයට ඉඩ දීමේ පියවරට ප්‍රතිචාරයක් වශයෙනි.

ඒ අනුව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සිය මූලික න්‍යෂ්ටික ප්‍රතිපත්ති සංශෝධනය කිරීමේ නියෝගයකට අත්සන් තැබීය.
එහෙයින් මින් ඉදිරියට වෙනත් න්‍යෂ්ටික බලවතකුගේ සහාය ඇතිව රුසියාවට ප්‍රහාර එල්ල කරන්නේ නම්, තමන්ටම කියා න්‍යෂ්ටික අවි නොමැති රටකට එරෙහිව වුවද න්‍යෂ්ටික අවි භාවිත කිරීමට රුසියාවට හැකියාව ලැබී ඇත.
මීට පෙර එවැන්නකට ඉඩ නොතිබූ අතර දැන් පුටින් විසින් එම නීති වෙනස් කර ඇත.

නවීකරණය කරන ලද රුසියානු මූලික න්‍යෂ්ටික ප්‍රතිපත්ති මගින් දැන් විස්තර කරන්නේ ඔවුන් සිය න්‍යෂ්ටික අවි භාවිත කිරීමට සලකා බලන්නේ කෙබඳු අවස්ථාවකදීද යන්නයි. නිදසුනක් වශයෙන්, මිසයිල වැනි සාම්ප්‍රදායික ආයුධ සහිත විශාල ගුවන් ප්‍රහාරවලදී මෙය දැන් සිදු කළ හැකිය.

එසේම රුසියානු භූමියට එරෙහිව සතුරු ගුවන් යානා සහ මිසයිල විශාල වශයෙන් යෙදවීමකදී, සහ කැපී පෙනෙන ලෙස, මිත්‍ර බෙලරුසියාවට ප්‍රහාරයක් එල්ල වූ විටද ඔවුන්ට දැන් න්‍යෂ්ටික ප්‍රහාර ඇරැඹිය හැකිය.
මේ අතර කිලෝමීටර 300 ක් දුරට ප්‍රහාර එල්ල කළ හැකි ඇමෙරිකානු ATACMS මිසයිල යෙදවීමට යුක්රේන නායකයාද වහසි බස් දොඩා තිබුණි. පුටින් නව න්‍යෂ්ටික නීතියට අත්සන් කරන විට සෙලෙන්ස්කි යුක්‍රේන පාර්ලිමේන්තුව ඇමතූ අතර යුක්රේනය ATACMS මිසයිල රුසියාව වෙත එල්ල කළ බව රුසියානු බලධාරීන් පවසා තිබුණි. වොෂින්ටනය රුසියාවට පහර දීම සඳහා එක්සත් ජනපදයේ නිෂ්පාදිත දිගු දුර මිසයිල භාවිත කිරීම පිළිබඳ සීමා ඉවත් කිරීමෙන් මොහොතකට පසුව මෙම නිවේදනය නිකුත් විය.

රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ යුක්රේනය එක්සත් ජනපදයේ නිෂ්පාදිත ATACMS මිසයිල හයක් බ්‍රයන්ස්ක් කලාපයට එල්ල කර ඇති බවයි. නමුත් රුසියානු ගුවන් යානා නාශක ආරක්ෂක පද්ධතිය මෙම මිසයිල හයෙන් පහකටම අහසේදී වෙඩි තබා තිබුණි.

යුක්රේනය මේ ඇමෙරිකානු මිසයිල ප්‍රහාරය සිදු කරන්නේ යුද්ධය ඇරැඹී දින 1000 කට පසුව මුල්ම වතාවටය.

මේ අතර යුක්රේනය පසුගිය බදාදා රුසියාවට බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත ස්ටෝම් ෂැඩෝ කෲස් මිසයිල ප්‍රහාරයක්ද එල්ල කළ බව එක්සත් රාජධානිය සහ එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කළේය.
එය රුසියානු ඉලක්ක මත භාවිත කිරීමට කියෙව් වෙත අවසර ලබා දී ඇති නවතම නව බටහිර ආයුධය බවට පත්වනු ඇත. මේ මිසයිලවලට කිලෝමීටර් 250 (සැතපුම් 155) කට වඩා වැඩි පරාසයක් ගමන් කළ හැකි අතර යුක්රේනයට රුසියාව තුළ ඈත ඉලක්කවලට පහරදීමේ හැකියාව ලබා දෙනු ඇත.

 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00