2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා

කාන්තා විමුක්තියට ගී ගැයූ දැරියට ලෝක ළමා සාම තෑග්ග!

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 32

ඇෆ්ගනිස්ථාන දැරියන් හා කාන්තාවන්ගේ අයිතිවාසිකම් උදෙසා ගීත ගැයූ 17 හැවිරිදි ඇෆ්ගන් දැරියක වන නිලා ඉබ්‍රාහිම්ට ජාත්‍යන්තර ළමා සාම ත්‍යාගය හිමිව ඇත. ඒ ඇෆ්ගනිස්ථානයේ තලේබාන් රජයේ දැඩි පාලනය යටතේ සියලු‍ අයිතිවාසිකම් අහිමි වූ එරට දැරියන් සහ කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙනි.

වසර 2021 දී එවකට තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අත්කර ගැනීමෙන් පසු සිය පවුලේ සාමාජිකයන් සමඟ පාකිස්ථානයට පලා ගිය මේ දැරිය එවකට ගැයූ ගීතයක් ඇගේ සොහොයුරකු විසින් පටිගත කර සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබූ අතර, එම ගීතය ලොව පුරා වැඩි අවධානයට ලක්විය. ඉන්පසු ඇය විසින් ගායනා කරනු ලැබූ එවැනි කාන්තා විමුක්ති ගී රැසක් පසුව සමාජ මාධ්‍ය ජාලයේ සංසරණය වී ඇති අතර, ‘ගී ගයන දැරිය’ නමින් ඇය ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයකට ලක්වූ බවද වාර්තා වේ. සිය විමුක්ති ගීත ලොව පුරා ප්‍රචලිත කරමින් තලේබාන් නීතිය යටතේ නිදහස අහිමි වූ ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන් හා දැරියන් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 4 ක අරමුදලක් ගොඩනැගීමටද නිලා ඉබ්‍රාහිම් සමත් විය. ඒ මගින් ඇෆ්ගන් දැරියන් 200 කට පමණ රටින් පිට අධ්‍යාපනය ලැබීමට ඇය ආධාර කර ඇත.