2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා

ඊශ්‍රායල - ලෙබනන් සටන් විරාමය මැදත් බෝම්බ!

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 48

ඊශ්‍රායලය සහ ලෙබනනය සටන් විරාමයකට අඟහරුවාදා එකඟ විය. හිස්බුල්ලා සංවිධානය සමඟ ඉකුත් සැප්තැම්බරයේ සිට ඇරැඹි සර්ව සම්පූර්ණ යුද්ධයක් දක්වා මාස 13 ක් තිස්සේ පැතිර ගිය දේශසීමා ගැටුම අවසන් කිරීමට ඒ අනුව ඊශ්‍රායලය සහ ලෙබනනය එක්සත් ජනපදයේ පිටුබලය ලත් යෝජනා අනුව එකඟ විය.

2006 දී දෙරට අතර අවසන් වරට සිදු වූ යුද්ධය අවසන් කළ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ 1701 යෝජනාව, මෙම ගනුදෙනුවේ ද පදනම වී ඇත.

නමුත් සටන් විරාමයක් එදින අලු‍යම සිට ක්‍රියාත්මක වුවද සටන්වලින් අවතැන් වූ නිවැසියන්ට දකුණු ලෙබනනයේ පිහිටි සිය නිවෙස් කරා ආපසු නොයන ලෙසට ඊශ්‍රායලය අනතුරු අඟවා ඇත. ඒ ඊශ්‍රායලය සහ ලෙබනනය එකඟ වූ දින 60 ක සටන් විරාමයෙන් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) දකුණු ලෙබනනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් විය යුතු බවට නියම කර ඇතත්, එම හමුදා ඊශ්‍රායලය වෙත ආපසු පැමිණීම වහාම සිදු නොවන නිසාය.
එම ගිවිසුම් කාලය තුළ හිස්බුල්ලා සටන්කාමීන් ද ඊශ්‍රායල - ලෙබනන දේශසීමාවේ සිට කිලෝමීටර් 40 ක් (සැතපුම් 25 ක්) පසුබැසිය යුතු යැයි ගිවිසුමෙන් අපේක්ෂා කෙරේ.

ජනාධිපති ජෝ බයිඩන් විසින් දක්වා ඇති කාලරාමුවකට අනුව, මේ විරාමය තුළින් සතුරුකම් ස්ථිර ලෙසම නැවැත්වීමට සැලසුම් කර ඇති බව කියයි. ගාසා තීරයේ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් ගිවිසුමක් ඇතිකර ගැනීම සඳහා තවත් ක්‍රියාදාමයක් මෙහෙයවීමටද එක්සත් ජනපදය උදව් කරන බව බයිඩන් පැවසීය.

එසේ වුවද සටන් විරාම ගිවිසුමට පැය කිහිපයකට පෙරාතුව අඟහරුවාදා ද, ඊශ්‍රායල හමුදාව බේරූට් හි දකුණු තදාසන්න ප්‍රදේශවලට මිනිත්තු දෙකක් තුළ 20 වතාවක් ලෙස යුද්ධයේ ආරම්භයේ සිට සිදු වූ දරුණුතම බෝම්බ ප්‍රහාරවලින් එකක් ලෙස හැඳින්විය හැකි මහා ප්‍රහාරයක් එල්ල කළේය. ඊශ්‍රායල ප්‍රහාරවලින් අඟහරුවාදා මධ්‍යම බීරූට් හි අවම වශයෙන් පුද්ගලයන් 10 දෙනකු ද ඇතුළුව අවම වශයෙන් ලෙබනනය තුළ පුද්ගලයන් 25 දෙනකු මිය ගිය බව වාර්තා විය.
පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව ගාසා තීරයේ ඊශ්‍රායල - හමාස් යුද්ධය මේ වනවිට තවත් උග්‍ර වෙමින් පවතින අතර මරණ සංඛ්‍යාව 44,200 ද ඉක්මවා තිබේ. මේ සටන් විරාම ගිවිසුම, ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මිය යන ලෙබනන සිවිල් වැසියන්ට මෙන්ම හිස්බුල්ලාගේ දෛනික රොකට් ප්‍රහාර මධ්‍යයේ කඳවුරුගතව නවාතැන් ගෙන සිටින මිලියන සංඛ්‍යාත ඊශ්‍රායල වැසියන්ට ද ඉතා අවශ්‍යම වූ සහනයක් ලබා දෙයි.