2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා

අයිස් සංහාරයට ට්‍රම්ප් මුල පුරයි!

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 125

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නැවත බලයට පැමිණීම, ඇමෙරිකාවේ ෆෙන්ටැනයිල් හෙවත් අයිස් අර්බුදය වැළැක්වීම සඳහා වූ එක්සත් ජනපද ප්‍රවේශය නව මාවතකට ගෙන යන අයුරක් පෙන්නුම් කර ඇත.

මෙතෙක් එය විසඳීමට ඇති ලොකුම බාධාව ලෙස ප්‍රති-මත්ද්‍රව්‍ය නිලධාරීන් පවසන්නේ චීනයයි. ඒ හැර මෙක්සිකෝව ඇතුළු රාජ්‍ය කිහිපයක බලපෑම ගැනද අනතුරු අඟවා තිබේ. මෙම මත්ද්‍රව්‍ය වැළැක්වීම සඳහා හොඳම ආයුධය ලෙස ට්‍රම්ප් තෝරාගනු ලැබ ඇත්තේ ඉහළ තීරු බදු පැනවීමය. ඔහුගේ සමාජ ජාලය වන Truth Social හි කළ පළකිරීම්වලදී, ඔහු චීනයෙන් එන භාණ්ඩ සඳහා අමතර 10% ක තීරු බදු සහ මෙක්සිකෝවේ සහ කැනඩාවේ වෙළෙඳ භාණ්ඩ සඳහා 25% ක තීරු බදු පැනවීමට පොරොන්දු විය. ට්‍රම්ප් කියා සිටියේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය, විශේෂයෙන් ෆෙන්ටැනයිල් එක්සත් ජනපදයට ඇතුළුවීම වැළැක්වීමට මෙම ජාතීන් ප්‍රමාණවත් තරම් ශක්තිමත් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි. මත්ද්‍රව්‍ය ප්‍රවාහනය නැවැත්වීම සම්බන්ධයෙන් චීනය සමඟ තමන් කළ බොහෝ සාකච්ඡාවන් “ඵලක් නොවූ” බවද ඔහු පැවසීය.

ට්‍රම්ප්ට උපදෙස් දෙන කණ්ඩායම් පවසන්නේ මේ සඳහා වොෂින්ටනයට බීජිං හි අවධානය ලබාගැනීමට ඇති ඉක්මන්ම සහ ස්ථිරම ක්‍රමය නම් මුදල් විශුද්ධිකරණය කරන්නන් සහ දූෂිත රසායනික විකුණුම්කරුවන් සමඟ ව්‍යාපාර කරන චීන බැංකු තහනම් කිරීම බවය.

මෙක්සිකානු මත් මාෆියාව විසින් ෆෙන්ටැනයිල් නිෂ්පාදනය සඳහා භාවිත කරන රසායනිකයන්ගේ ප්‍රමුඛතම මූලාශ්‍රය චීනය වන අතර චීන මුදල් විශුද්ධිකරණය ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය වෙළෙඳාමේ ප්‍රධාන තැනක් ගෙන ඇති බව එක්සත් ජනපද බලධාරීහු පවසති. මේ දෙකම මර්දනය කිරීමට බයිඩන් පරිපාලනය පසුගිය වසර පුරා බීජිං සමඟ සාකච්ඡා කරමින් සිටී. රාජ්‍ය තාන්ත්‍රිකභාවය යහපත් නමුත් ඉන් ඉක්මන් ප්‍රතිඵල ලබා දී නැත. දැන් ට්‍රම්ප් තදින් සිටීමට තීන්දුවක් ගෙන ඇත.