2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා

බංග්ලාදේශයේ වාර්ගික ගැටුමකට මුල පිරෙයි!

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 156

බංග්ලාදේශයේදී හින්දු සංවිධානයක ප්‍රකාශකයකු අත්අඩංගුවට ගැනීමත් සමඟ එරට සුළු ජාතීන්ගේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් අසල්වැසි ඉන්දියාව සමඟ නව ගැටලු‍කාරී තත්ත්වයක් ආරම්භ වී තිබේ.

බංග්ලාදේශය පදනම් කරගත් හින්දු සංවිධානයක ප්‍රකාශකයකු වන චින්මෝයි ක්‍රිෂ්ණා දාස් නමැති මේ හින්දු පූජකයා මේ සතියේ රාජද්‍රෝහී චෝදනා මත අත්අඩංගුවට ගත් අතර, එය එක් මරණයකට තුඩුදුන් ගැටුම්වලට හේතු විය.
සාම්ප්‍රදායිකව උණුසුම් සහසම්බන්ධතාවයක් බෙදාගත් ඉන්දියා - බංග්ලාදේශ් අසල්වාසීන් අතර බැඳීම, අගෝස්තු මාසයේදී හිටපු අගමැතිනි ෂීක් හසීනා බලයෙන් නෙරපා හරින ලද දා සිට කඩ වී ඇත.

නමුත් ඇය ධුරයෙන් පහකිරීමෙන් පසු, ඉන්දියාව බංග්ලාදේශයේ හින්දු සුළුතරයන්ගේ ආරක්ෂාව පිළිබඳව නැවත නැවතත් කනස්සල්ල පළ කර තිබූ අතර බංග්ලාදේශය එය ප්‍රතික්ෂේප කර තිබුණි.
මුස්ලිම් බහුතරයක් වෙසෙන බංගලාදේශයේ විශාලතම සුළුතරය හින්දුවරුන් වන අතර, එය ජනගහනයෙන් 8% ක් පමණ වේ.

මේ අතර ඉකුත් සඳුදා ඩකා ගුවන් තොටුපළේදී දාස් මහතා අත්අඩංගුවට ගැනීමත් සමඟ නව ආතතීන් මතුව විත් තිබේ. ඔක්තෝබර් මාසයේදී දකුණු චිතගොං නගරයේ පැවති රැලියකදී බංග්ලාදේශයේ ජාතික කොඩියට අගෞරව කළ බවට සහ තවත් චෝදනා රැසක් ඔහුට එල්ල වී තිබේ. ඔහුගේ සංවිධානය වන ඉස්කෝන්, අත්අඩංගුවට ගැනීම හෙළා දකිමින්, දාස් මහතා “සුළුතරයේ ආරක්ෂාව සඳහා හඬ නඟන්නකු”‍ ලෙස හඳුන්වයි.
අඟහරුවාදා චිතගොං හි අධිකරණයක් දාස් හට ඇප දීම ප්‍රතික්ෂේප කළේය. එහිදී ඔහුගේ ආධාරකරුවන් සිය ගණනක් ඔහුව සිරගෙදරට රැගෙන යමින් සිටි වෑන් රථය වටකර ගැනීමත් සමඟ ප්‍රචණ්ඩත්වය හටගත් බව පොලිසිය පැවසීය. පිරිස විසුරුවා හැරීමට ආරක්ෂක අංශ බැටන් පොලු‍ සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.

බංග්ලාදේශ නිලධාරීන්ට අනුව සයිෆුල් ඉස්ලාම් අලිෆ් නමැති මුස්ලිම් නීතිඥයා මේ ගැටුමෙන් මිය ගියේය. ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් 6 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පුද්ගලයන් 21 දෙනකුට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධිය වාර්ගික ගැටුමකට තුඩු දිය හැකි බවට දැන් සැක පහළ වී තිබේ. තම රජය වාර්ගික සහජීවනය සහතික කිරීමට සහ ආරක්ෂා කිරීමට කැපවී සිටින බව පවසමින් බංග්ලාදේශයේ අන්තර්වාර නායක මුහම්මද් යුනුස් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සන්සුන්ව සිටින ලෙසය.