දකුණු කොරියාව නූතන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සහිත ඇමෙරිකාව ප්‍රමුඛ බටහිරට හිතැති ආසියාවේ සංස්කෘතික හා ආර්ථික බලවතුන්ගෙන් එකකි. දැන් එරට එක රැයකින් දේශපාලන අර්බුදයකට පිවිස හමාරය. කාලයක් තිස්සේ එරට ජනාධිපතිවරයා සහ විපක්ෂ බහුතරයක් සහිත පාර්ලිමේන්තුව තුළ වූ ගැටුම එළිපිටම රටේ වීදි විරෝධතාවක් බවට පෙරැළීමත් සමඟය.
මේ සියල්ල ආරම්භ වූයේ දෙසැම්බර් 2 වැනිදා දකුණු කොරියානු ජනාධිපති යූන් සුක්-යෝල් ජාතික රූපවාහිනියේ පෙනී සිටිමින්, “විනාශය සිදු කරමින් සිටින රාජ්‍ය විරෝධී බලවේග මර්දනය කිරීම සඳහා” යුද නීතිය ප්‍රකාශයට පත් කරන බව රටට කීමත් සමඟය. පාර්ලිමේන්තුවේ බහුතරය හිමි රටේ ප්‍රධාන විපක්ෂ කණ්ඩායම වන ඩිමොක්‍රටික් පක්ෂය උතුරු කොරියාවට අනුකම්පා කරන බවටත්, ඔහුගේ රජය දුර්වල කිරීමට කටයුතු කරන බවටත් යූන් එහිදී චෝදනා කළේය. දකුණු කොරියානු ජනාධිපතිවරයා සොල්දාදුවන් සහ පොලිස් නිලධාරීන් ජාතික සභා ගොඩනැගිල්ල කරා යොමු කිරීමත් සමඟ හමුදා පාලනයක් ගැන සැක සංකා පැතිර ගියේය. මන්ත්‍රීවරු ජනතා සහායද ලැබ හමුදා රැකවල් බිඳ පාර්ලිමේන්තුවට කඩා වැදී ජනාධිපතිවරයාගේ නියෝගය බල රහිත කිරීමට දකුණු කොරියානු නීති සම්පාදකයන් 300 න් 190 ක්ම පක්ෂව ඡන්දය දුන්හ. යුද නීතිය පැනවීම පිළිබඳ නියෝගය හෙළා දැකීමට රටේ ප්‍රධාන විපක්ෂ බලවේගය වන ඩිමොක්‍රටික් පක්ෂයේ මන්ත්‍රීන් පමණක් නොව යූන්ගේම මහජන බල පක්ෂයේ නියෝජිතයෝ එක්ව සිටියහ. ඒ අනුව පැය කිහිපයකට පසු, යූන් විසින් ඔහුගේ තීරණය අවලංගු කෙරුණි. නමුත් ජනාධිපතිවරයාට එරෙහි ජන රැල්ල වීදි බැස්සේ ඔහුට ඉල්ලා අස්වීමට බල කරමිනි. මෙ සමඟ යූන්ට එරෙහි විශ්වාසභංගයක්ද ඉදිරිපත් විය. දකුණු කොරියාවේ ආරක්ෂක අමාත්‍ය කිම් යොන්ග්-හියුන් දෝෂාභියෝගය කැඳවීමෙන් පසු සිය ඉල්ලා අස්වීම ඉදිරිපත් කර තිබුණි. දකුණු කොරියාවේ, විපක්ෂ පක්ෂ හයක් එකතුව යූන්ට එරෙහි මේ දෝෂාභියෝගය ගෙන ඒම සඳහා පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව ආසියාවේ ඇමෙරිකානු හිතවාදී පාලනය දැන් ඇද වැටීමට නියමිතය.
හමුදා පාලනයන්ගෙන් කිහිප වරක්ම බැටකා ඇති මේ රටේ 1980 දශකයේ මුල් භාගයෙන් පසු රජය විසින් යුද නීතිය නියම කරන ලද පළමු අවස්ථාව මෙය වන අතර එය දකුණු කොරියානු ඉතිහාසයේ අඳුරුම පරිච්ඡේද කිහිපයක් නැවත ජනතා මතකයට නැංවීමට සමත්ව තිබුණි.